ඇමසන් වනාන්තරය : ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගෙන් ඇමසන් රැකගන්න ඩොලර් මිලියන 5 ක්

ගින්නෙන් විනාශවී ගිය ඇමසන් වනාන්තරය යළි නගා සිටුවීම වෙනුවෙන් ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.
ඩිකැප්‍රියෝ විසින් පිහිටුවන ලද "Earth Alliance" නමැති පරිසර සංවිධානය හරහා එම මුදල් ඇමසන් වනය සුරකින සිවිල් සංවිධාන වලට සහ එහි දිවි ගෙවන ආදිවාසී ජන ප්‍රජාවන් වෙත ලබාදීමට නියමිතය.
බ්‍රසීලයේ අභ්‍යවකාශ පරීක්ෂණ ජාතික ආයතනයට අනුව මේ වසර තුළ ඇමසන් වැසි වනාන්තරය 72,000 කට වැඩි වාරයක් ගිනි ගැනීම් වලට ලක්ව තිබේ.
ඉකුත් වසරේ මේ මාසය වනවිට වාර්තා වූයේ ගිණි ගැනීම් 40 000 ක ප්‍රමාණයකි.

"විමෝචනය වන කාබන් ටොන් ගණනක් වාර්ෂිකව අවශෝෂණය කරගන්නා, දේශගුණ විපර්යාසයන්ට එරෙහි පෘථිවිය සතු හොඳම ආරක්ෂකයකු වන ඇමසන් වැසි වනාන්තරය විනාශ වීමෙන් වායුගෝලයට කාබන් විමෝචනය වීම වේගවත් ව සමස්ථ පරිසර පද්ධතියම විනාශ වේ," යනුවෙන් "Earth Alliance" පරිසර සංවිධානයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.
වන ජීවීන් ආරක්ෂා කිරීම, දේශගුණික යුක්තිය සහ ආදිවාසීන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ තවත් ධනපතියන් දෙදෙනෙක් එක්ව ඉකුත් ජූලි මාසයේදී "Earth Alliance" පරිසර සංවිධානය පිහිටවූහ.
"ඇමසන් හි සිදුවෙමින් පවතින දෑ සම්බන්ධව දැඩි සැලකිල්ලකින් පසුවන අතර දේශගුණය, ජෛව විවිධත්වය, සහ ආදිවාසීන්ගේ යහ පැවැත්ම අතර පවතින සියුම් සමබරතාව එතුළින් පැහැදිළි වේ," යනුවෙන් ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඉකුත් සෙනසුරාදා තම (Instagram) ගිණුමේ සටහන් කර තිබිණි.
එමගින් මහජනතාව උනන්දු කිරීම මෙන්ම ඔවුන්ට පරිත්‍යාග කිරීම සඳහා මාර්ග උදාකර දීම ද ලියනාඩෝ ගේ අවශ්‍යතාව වී තිබේ.

මේ අතර ඇමසන් වන විනාශය දිරිගැන්වූ බවට මෙන්ම පාරිසරික ගැටළු සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට බ්‍රසීල ජනාධිපති ජෙයර් බෝල්සොනාරෝ ට චෝදනා එල්ල වේ.
නමුත් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පුණ්‍ය ආයතන වලට චෝදනා පවරන බ්‍රසීල ජනාධිපතිවරයා ඇමසන් වැසි වනාන්තරයේ සැළකියයුතු ගිනි තැබීම් සංඛ්‍යාවකට එම සංවිධාන වගකිවයුතු බව පවසයි.
කෙසේ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කර නැත.
මේ අතර G7 සාමාජික රටවල ලෝක නායකයින් ප්‍රංශයේ "බියරිට්ස්" හීදී මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර එකඟතාවකට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.
ඇමසන් වැසි වනාන්තරය සුරක්ෂිත කිරීම උදෙසා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 10 ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ප්‍රකාශ කර තිබේ
ඇමසන් ගිනිවල සැබෑ හේතුව
වියළි බ්‍රසීලියානු දේශගුණය ලැව්ගිනිවලට හේතු වේ. එහෙත් පසුගියදා වාර්තා වූ ඇමසන් වනගිනි සිතාමතාම ඇතිකරන ලද ඒවා බව පැවසේ.
එයින් ඇතැම් ඒවා නීතියට පටහැණිව වනගැබ අළු කර දැමීමට සිතාමතාම අවුළුවන ලද ඒවා වන අතර තවත් ඒවා යෝධ ගවගාල් සඳහා භූමිය ලබා ගැනීමට අවුළුවන ලද ඒවා වෙති.
"වියළි කාලගුණය ලැව්ගිනි පැතිර යාමට හේතුවෙන පරිසරයක් නිර්මාණය කරනවා. ඒත් වැරදීමක් නිසා හෝ එහෙමත් නැත්නම් සිතාමතාම මිනිස් ක්‍රියාකාරකමක් නිසා ගිනි පැතිරයනවා," නිදහස් සමීක්ෂකයකු වන ඇල්බර්ටෝ සෙට්ෂර් (Alberto Setzer) පවසයි.

සෑම මිනිත්තුවකදී ම ඇමසන් වැසි වනාන්තරයෙන් පාපන්දු පිටියකට හා සමාන බිම් ප්‍රමාණයක් එළි කෙරෙන බව චන්ද්‍රිකා මාර්ගයෙන් ලබා ගත් තොරතුරු අනුව අනාවරණය වේ.
වනගහනයේ විනාශය වැඩී වීමට හේතු වී ඇත්තේ, බ්‍රසීලයේ මෑතකදී තේරී පත්වූ දක්ෂිණාංශික ජනාධිපතිවරයා 'සංරක්ෂණය වෙනුවට සංවර්ධන කටයුතු' සඳහා මූලිකත්වය දීම යැයි සැලකේ.
ඇමසන් වනය ලොව විශාලතම වැසි වනාන්තරය වේ. ඉන් වැඩි ප්‍රමාණයක් බ්‍රසීලය සතු වේ. ගෝලීය උණුසුම අඩු කිරීම සඳහා ද මෙම වනාන්තරය වැදගත් වේ.
නම හෙළි කිරීමට අකමැති වූ බ්‍රසීල රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ තම රජය වනාන්තරය එළි කිරීමට අනුබල දෙන බවය.
මෑතකදී එළි කරන ලද විශාල කලාපයක දැවැන්ත ගස් පෙරලා දමා තිබිණි. සමහර ගස්වල පත්‍ර තවමත් කොළ පාටය.
විශාල ගස් කපා කුට්ටි කර විකුණා දැමීම හෝ ගිනි තැබීම හෝ සිදු කෙරේ. එළි කළ භූමිය ඉන් අනතුරුව වගා කටයුතු සඳහා යොදා ගැනේ.
සමහර කලාප තුළ නීති විරෝධී ගස් කපන්නෝ වනගහනයට යටින් පාරවල් සාදා ගෙන වටිනා ගස් වර්ග කපා දමති. එසේ කපන දැව වැඩි මිලට නීති විරෝධී ලෙස විකුණති.
චන්ද්‍රිකා රූප රාමු අනුව පෙනී යන්නේ, ජෙයර් බොල්සොනාරෝ බ්‍රසීලයේ ජනාධිපති පදවියට පත් වීමෙන් අනතුරුව, මේ වසරේ මුල් මාස හය තුළදී ගස් කපා දැමීම් ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බවය.

ඉතා මෑතකදී කළ විශ්ලේෂණයකදී පෙනී ගොස් ඇත්තේ පසු ගිය මාස දෙක තුළදී වන විනාශය ශීඝ්‍ර ලෙස වැඩී වී ඇති බවය.
සාමාන්‍ය වශයෙන් එක් විනාඩියක් තුළ වනාන්තරයෙන් හෙක්ටයාරයක් පමණ එළි කෙරෙන බව හෙළි වී තිබේ.
පසුගිය දශකයේදී, බලයේ සිටි ආණ්ඩු, රාජ්‍ය ආයතනවල මැදිහත් උපකාරයෙන් සහ දඩ ගැසීම් මගින් වනාන්තරය එළි කිරීම පාලනය කළේය.
ජනපති බොල්සොනාරෝ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය දඩ ගැසීමේ ප්‍රතිපත්තිය විවේචනය කරති.
එම නිසා නීති විරෝධී ලෙස කැපූ දැව කඳන් අත්අඩංගුවට ගැනීම් සහ පරිසර නීති උල්ලංඝණයට සම්බන්ධ අපරාධවලට එරෙහි දඬුවම් කිරීම් ද අඩු වී තිබේ.
මෙම වනාන්තරය තුළ ගස් බිලියනයක් පමණ ඇතැයි සැලැකේ. එමගින් දරා සිටින කාබන් ප්‍රමාණය අතිවිශාලය.
සෑම වර්ෂයක ම ශාක පත්‍ර මගින් කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් උරා ගැනේ. එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ද වැළැකේ.
මෑතකදී කළ ඇස්තමේන්තුවකට අනුව ඇමසන් වනාන්තරය විසින් අවශෝෂණය කරනු ලැබූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, 1980ත් 2010ත් අතර කාලයේදී, ඇමසන් වනාන්තරයට හිමිකම් කියන හෝ එහි සීමාවේ පිහිටි රටවවල් නවයෙන් නිකුත් වූ පොසිල ඉන්ධන විමෝචනය හා සමාන වී තිබිණි.
ඇමසන් වනය පෘථිවියේ පිහිටි ජෛව විවිධත්වයෙන් සශ්‍රීක ම කලාපය වේ. ලොව පවතින සියලු ශාක සහ සත්ත්ව විශේෂයන්ගෙන් 10න් එකක් පමණ එහි හමුවේ.
එසේ ම දස ලක්ෂයක පමණ ආදිවාසී ජනතාවක් එහි වාසය කරති.
කියවන්න:



























