ඉන්දියාව: දූෂණයට එරෙහිව සටන් කළ මවගේ සහ දියණියගේ හිස බූ ගා දැමේ

ANI

ඡායාරූප මූලාශ්‍රය, ANI

Published

පුද්ගලයන් පිරිසක් පැමිණ තමන් දූෂණය කිරීමට උත්සහ කළ අවස්ථාවේ විරෝධය පෑම නිසා "දඬුවමක් වශයෙන්" ඊට ගොදුරු වූ කාන්තාවන් දෙදෙනාගේ හිස බූ ගෑමේ සිදුවීමක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඉහත කී සිදුවීමට මුහුණ දී ඇත්තේ මවක් සහ ඇයගේ දියණියය.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඉහත කී මව සහ දියණිය දූෂණයට ලක් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් ඔවුන් විසූ නිවසට කඩාවැදී ඇති බව පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

එහිදී කාන්තාවන් දෙදෙනාගේ ප්‍රතිවිරෝධය එල්ල වීමත් සමග ඔවුන්ට පහර දී ඇති පුරුෂයන් මව සය දියණියගේ හිස බූ ගා ගම වටා රැගෙන ගොස් ඇත.

ඊට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු සොයමින් සිටින බව පොලිසිය පවසයි.

"අපිට ඉතාමත් නරක විදිහට පොලු වලින් පහර දුන්නා. මගේ සිරුරේ හැමතැනම තුවාල. මගේ දුවගෙත් තුවාල තිබෙනවා" යනුවෙන් ඉහත කී මව ANI පුවත් සේවයට පවසා තිබුණි.

ගම්වාසීන් සියලු දෙනා ඉදිරියේ තම හිස බූ ගෑ බවත් කාන්තාවෝ පවසති.

නීතියට බිය නොවීම:

අතවර කිරීමට උත්සහ දැරීම ඉන්දියාවේ නීතියට අනුව ලිංගික අපරාධයකි.

නව දිල්ලියේ සිටින බීබීසී වර්තාකාරිනිය ගීතා පාන්ඩේ පවසන පරිදි මෙවැනි සිදුවීම්වලින් අනතුරුව සිදුවන පහරදීම්, කාන්තාවන්ගේ හිස බූ ගෑම, සහ ඔවුන් ගම පුරා ඇවිද්දවීම පීතෘ මූලිකත්වය මුල්බැසගත් සමාජයක පිරිමියාට ඇති බලය පෙන්නුම් කිරීමකි.

රජයේ නිලධාරියෙකු විසින් කාන්තාවන් දෙදෙනාට පහර දුන් කණ්ඩායම මෙහෙයවනු ලැබීම ඉතා කණගාටුවට කරුණක් බව ඇය වැඩිදුරටත් කියා සිටී.

එම නිලධාරියා අදාළ නිලයට තෝරා පත් කර ඇත්තේ ගම්වාසීන්ගේ සුබ සාධනය සොයා බැලීමට මිස ඔවුන්ට පහරදීමට නොවන බවත් ඇය සඳහන් කරයි.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ තුළ නීතිය කෙරෙහි බියක් නොමැති බව ඉහත කී අපරාධය අනුව පෙනී යන බව ද ගීතා පාන්ඩේ පෙන්වා දෙයි.

ඉන්දීය සමාජයේ කොන් වී සිටින දුගී ජන කොටස්, අපරාධයක් වූ විට එය පොලිසියට පැමිණිලි කිරීමට පවා දැඩි වෙහෙසක් ගත යුතු වේ.

ඔවුන්ගේ පැමිණිලි ගැන ඕනෑවට එපාවට පරීක්ෂණ කෙරෙන අතර වැඩ අධික සහ ඉතා සෙමින් කටයුතු කෙරෙන අධිකරණ පද්ධතිය හේතුවෙන් සමාජයේ බලය සහිත පිරිස් බොහෝ විට නීතියෙන් ගැලවෙති.

මෙවැනි අපරාධයක් වූ විට මහජන විරෝධය මතු වන නමුත් එය පවතින්නේ කෙටි කාලයකි.

විශේෂයෙන්ම ඈත ග්‍රාමීය ප්‍රදේශ වල නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම සඳහා බලධාරීන් නිසි ආකාරයෙන් කඩිනමින් වින්දිතයින් සඳහා සාධාරණය ඉටු කළ යුතු බව මතුව ඇති තවත් අදහසකි.

ඉන්දියාවේ නිතර ඇසෙන ස්ත්‍රී දූෂණ

"පිරිමි කණ්ඩායමක් වින්දිතයින්ගේ නිවසට ඇතුල් වෙලා දුවට අතවර කරන්න උත්සහ කරලා," පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පැවසීය. මවගේ ද ආධාරය ඇතිව සැකකරුවන් පහරදී එළවා ගැනීමට ඇය සමත් වී තිබේ.

බිහාර ප්‍රාන්තයේ කාන්තා කටයුතු පිළිබඳ කොමිසම මෙම සිදුවීම හෙළා දකිමින් පවසන්නේ ඊට එරෙහිව "තවත් පියවර" ගන්නා බවය.

මෙම ප්‍රාන්තයේ මෙවැනි සිද්ධියක් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

සමුහ දුෂණයක් කිරීමට ප්‍රතිවිරෝධය දැක්වීම හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී බාලවයස් දැරිවියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක් විණි.

මීට මාස කිහිපයකට පෙර බිහාරයේ කාන්තාවකට පහරදී ඇය නිරුවත් කර ගමේ වෙළෙඳපොළ පුරා ඇවිද්දවා තිබුණි.

2012 වසරේදී දිල්ලි නගරයේදී බස් රථයක් තුළදී ශිෂ්‍යාවක් සමුහ දුෂණයට ලක් කර මරා දැමීමෙන් අනතුරුව ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉන්දියාව පුරා දැඩි විරෝධයක් මතුවිය.

ලිංගික ප්‍රචණ්ඩත්වය 2018දී ද දේශපාලනික වශයෙන් කථා බහට ලක්වන කරුණක් බවට පත්වුයේ ඉහළ සමාජ පසුබිමක ළමුන් කිහිප දෙනෙක් ඊට ලක් වීම නිසාය.

නමුත් ස්ත්‍රී දුෂණ සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ සිදුවීම් ඉන්දියාවෙන් නිතර වාර්තා වේ.

කියවන්න: