බ්‍රසීලය: "පිහියෙන් ඇන්නේ දේව නියෝගයක් අනුව"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය සැප්තැම්බරයේ පැවති ප්‍රචාරක රැළියක් අතරතුර බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝට (Jair Bolsonaro) පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා එම චෝදනාවලින් නිදහස් කරනු ලැබුණි.
ඉහත කී පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙළෙන්නකු බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීමෙන් අනතුරුවය.
පිහි ඇනුම සිදු කළ අවස්ථාවේදී චූදිත ඇඩෙලියෝ බිස්පෝ ද ඔලිවෙරා 'ඔහුගේ ක්‍රියාව' පිළිබඳව දැන නොසිටියේය යන්න විනිසුරුවරයාගේ නිගමනය වී ඇත.
එබැවින් බ්‍රසීල නීතිය යටතේ ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නොමැති බව අධිකරණය තීන්දු කළේය.
කෙසේ නමුත්, ඔලිවෙරා සම්බන්ධයෙන් පවතින "ඉහළ අවදානම" පිළිබඳ සලකා බලා ඔහු රඳවා තබා අගනිමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස විනිසුරු නියෝග කර ඇත.
එම තීන්දුව අභියෝගයට ලක් කරන බව ජනාධිපති බොල්සොනාරෝ මේ අතර පවසයි.
එවකට ජනාධිපති අපේක්ෂකයා වූ බොල්සොනාරෝ පිහි ප්‍රහාරයෙන් පසු ශල්‍යකර්මයකට ලක් කරන ලද අතර, ප්‍රහාරය පිටුපස දේශපාලන උවමනාවක් සහ තවත් පුද්ගලයන් සිටින බවට චෝදනා එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිදු වූයේ කුමක්ද?
පිහි ඇනුමට ගොදුරු වූ හැට හැවිරිදි ජනාධිපති බොල්සොනාරෝගේ බඩවැල්වලට බරපතල හානි සිදු වූ අතර සිරුරේ රුධිරයෙන් 40% පමණ වහනය වී තිබිණි.
ප්‍රහාරෙන් අනතුරුව අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයකු වනජනාධිපතිවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබූ අතර,ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියට දැඩි හානි සිදුව තිබූ බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.
ජෙයර් බොල්සොනාරෝ පසුගිය ජනවාරි 01 වෙනිදා ජනාධිපති ධුරයේ වැඩ භාර ගත් අතර, ඔහු මතභේදයට තුඩු දෙන ප්‍රකාශ සිදු කරන දේශපාලනඥයකු ලෙස ප්‍රචලිතය. ඇතැම් විශ්ලේෂකයන් විසින් ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාන කරනු ලැබ ඇත.



























