මන්දාකිණියක කළු කුහරයක් පළමු වරට ඡායාරූපයට නැගූ හැටි

කළු කුහරය

ඡායාරූප මූලාශ්‍රය, EHT

Published

මන්දාකිණියක පිහිටි කළු කුහරයක ඡායාරූපයක් පළමු වරට කැමරාවක සටහන් කර ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් විය.

එහි විෂ්කම්භය කිලෝමීටර් බිලියන 40ක් පමණ වන අතර, පෘථිවිය මෙන් මිලියන තුන් ගුණයක විශාලත්වයෙන් යුක්ත වේ. විද්‍යාඥයන් එය හඳුන්වන්නේ, "රාක්ෂයෙකු" ලෙසය.

කිලෝමීටර් ටිලියන මිලියන 500ක් තරම් දුරින් පිහිටි එම කළු කුහරය ඡායාරූපයට හසු කරගෙන ඇත්තේ, ලෝකයේ ස්ථාන කිහිපයක රැඳවූ දුරේක්ෂ 8ක කැමරා ජාලයක් ආධාරයෙනි.

මේ සම්බන්ධ තොරතුරු 'Astrophysical Journal Letters' හි පළ කර තිබේ.

DR JEAN LORRE/SCIENCE PHOTO LIBRARY

ඡායාරූප මූලාශ්‍රය, DR JEAN LORRE/SCIENCE PHOTO LIBRARY

කළු කුහරය ඡායාරූපයට නගා ඇත්තේ, 'Event Horizon Telescope'(EHT) නමැති දුරේක්ෂ 8ක ජාලයක් මගිනි.

අත්හදා බැලීම යෝජනා කළ නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙයිනෝ ෆැල්කේ බීබීසී පුවත් සේවයට පැවසුවේ, එම් 87 නමැති මන්දාකිණියෙන් එම කළු කුහරය සොයා ගැනුණු බවය.

"අපි මේ දකින කළු කුහරය අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා විශාලයි," ඔහු පැවසීය.

"එය සූර්යයාගේ ස්කන්ධයට වඩා බිලියන 6.5 ගුණයකින් වැඩියි. ඒ වගේ ම ඒක විශ්වයේ පවතින බව විශ්වාස කරන විශාලතම කළු කුහර අතරින් එකක්. ඒක ඇත්තෙන්ම රාක්ෂයෙක්. විශ්වයේ කළු කුහර අතරින් හෙවිවේට් ශූරයා වන්නේ මෙයයි."

ඡායාරූපයෙන් පෙනී යන්නේ අතිශය දීප්තිමත් "අග්නි වළල්ලක්", බව පවසන මහාචාර්ය ෆැල්කේ සඳහන් කළේ, එම අග්නි වළල්ල වෘත්තාකාර කළු කුහරය වටා දක්නට ලැබෙන බවය. එම දීප්තිමත් රැස් වළල්ල ඇති වීමට හේතුව අධික ලෙස දහනය වූ වායු කුහරය තුළට පතිත වීමය. එතරම් දුරක පැවතිය ද, පෘථිවියේ සිට එය දැකගත හැකි වන්නේ, මන්දාකිණියේ ඇති බිලියන ගණනක් තාරකාවන්ට වඩා ඉන් වැඩි ආලෝකයක් නික්මෙන හෙයිනි.

වීඩියෝ ශීර්ෂ වැකිය, මන්දාකිණියක කළු කුහරයක් පළමු වරට ඡායාරූපයට නැගූ හැටි

එම කළු කුහරයට වායු ඇතුළු වන්නේ අඳුරු පැහැති වෘත්තයේ දාරය තුළිනි. එය අධික ගුරුත්වාකර්ෂණ බලයකින් යුක්ත වන අතර, ඉන් ආලෝකයට පවා ගැළවීමක් නොලැබේ.

මෙම ඡායාරූපය ලබා ගැනීම සඳහා දුරේක්ෂ ජාලය ඉදි කළ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන්හි ආචාර්ය සිරි යවුන්සි පැවසුවේ, න්‍යායාත්මක භෞතික විද්‍යාඥයින් සහ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරුන් කළු කුහර සම්බන්ධයෙන් නිර්මාණය කළ චිත්ත රූප මෙම ඡායාරූපය සමග සැසඳෙන බවය.

"න්‍යායාත්මක ගණනය කිරීම් අනුව සකස් කළ ඡායාරූප මේ ඡායාරූපයට බෙහෙවින් සමාන වීම විශේෂත්වයක්. මේ මගින් යළිත් වරක් පෙනෙන්නේ අයින්ස්ටයින් නිවැරදි බවයි," ඔහු පැවසීය.

කළු කුහරයේ පළමු ඡායාරූපය හරහා මෙවැනි අද්භූත ආකාශ වස්තු පිළිබඳව අධ්‍යයනය කිරීමට පර්යේෂකයින්ට අවස්ථාව හිමි වනු ඇත. කළු කුහරය වටා ඇති දීප්තිමත් රශ්මි මාලාව නිර්මාණය වූයේ කෙසේ ද යන්න කිසිවෙකු නිවැරදිව නොදනී.

කළු කුහරයක් යනු කුමක් ද?

කළු කුහරයක් යනු ආලෝකයට පවා ගැළවී යා නොහැකි අවකාශයකි.

එය අධික ගුරුත්වාකර්ෂණ බලයකින් යුක්ත වූ හිස් නොවූ අවකාශයකි.

කළු කුහරයට ඔබ්බෙන් පිහිටි අවකාශය "යළි පැමිණිය නොහැකි" අවකාශයක් ලෙස සැලකේ. කළු කුහරයේ පවතින අධික ගුරුත්ව බලය නිසා ඉන් කිසිවකට ගැළවීමක් නොමැත.

දුරේක්ෂ 8ක ජාලයක්

bbc

කළු කුහරය ඡායාරූපයට නැගීමට හැකි ප්‍රබල තනි දුරේක්ෂයක් ලෝකයේ නොමැත. එහෙයින් ප්‍රබල දුරේක්ෂ 8ක් එක් කර තැනූ දුරේක්ෂ ජාලයක් මේ සඳහා යොදා ගැනිණි.

එම දුරේක්ෂ විවිධ ස්ථාන 8ක ස්ථානගත කර තිබිණි. හවායි සහ මෙක්සිකෝහි ගිනි කඳු, ඇරිසෝනා සහ සියෙරා නවාඩාහි කඳු, චිලීහි ඇටකාමා කාන්තාරය මෙන් ම ඇන්ටාක්ටිකාව ද එම දුරේක්ෂ ස්ථානගත කළ ස්ථාන අතර විය.

මේ තොරතුරුද කියවන්න:

JASON GALLICCHIO

ඡායාරූප මූලාශ්‍රය, JASON GALLICCHIO

එම් 87 මන්දාකිණිය දෙසට යොමු කර තිබූ දුරේක්ෂ ජාලය විද්‍යාඥයින් 200 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් දින 10ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබීය.

ඔවුන් එක්රැස් කළ තොරතුරු ඉන්ටර්නෙට් හරහා හුවමාරු කර ගැනීමට නොහැකි තරම් විශාල වූ හෙයින් එම දත්ත දෘඪාංගවල තැන්පත් කර ඇමෙරිකාවේ බොස්ටන් සහ ජර්මනියේ බොන් යන නගරවල පිහිටි ප්‍රවේශ මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

KATIE BOUMAN

ඡායාරූප මූලාශ්‍රය, KATIE BOUMAN

ඡායාරූප ශීර්ෂ වැකිය, එම දත්ත දෘඪාංගවල තැන්පත් කර ඇමෙරිකාවේ බොස්ටන් සහ ජර්මනියේ බොන් යන නගරවල පිහිටි ප්‍රවේශ මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

"ඉටු කළ නොහැකි බවට පරම්පරා ගණනකට කලින් අනුමාන කළ දෙයක් අපි ජය ගත්තා," මහාචාර්ය ෂෙපර්ඩ් ඩෝල්මන් පැවසීය.

මෙම කළු කුහරය ඡායාරූපගත කළ කණ්ඩායම පෘථිවිය අයත් මන්දාකිණිය වන ක්ෂීරපථයේ පිහිටි අතිවිශාල කළු කුහරය ද ඡායාරූපයට නැගීමේ උත්සහයක නිරතව සිටිති.

තවත් තොරතුරු: