සුනඛයන් ඇවිද්දවීමේදී සපත්තු පළඳවන ලෙස ස්විට්සර්ලන්ත පොලිසියෙන් අවවාද

shoes for dogs

ඡායාරූප මූලාශ්‍රය, STADTPOLIZEI ZÜRICH

Published

අධික උණුසුමෙන් රත් වූ මාර්ගවල ඇවිද යාමේදී යටිපතුල් පිළිස්සීම වළක්වාගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ සූරික් නගරයේ සුනඛයන්ට සපත්තු පළඳවන ලෙස පොලිසිය හිමිකරුවන්ගෙන් ඉල්ලා ඇති බවට වාර්තාවක සඳහන් වේ.

සූරික් පොලිසිය "උණුසුම් වූ සුනඛයන්" නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. සිය 'පාද හතරේ මිත්‍රයා' දැඩි උණුසුමෙන් රත් වූ පදිකවේදිකාවල ඇවිද යන විට ඔවුන්ගේ යටි පතුල්වලට වන හානිය අවම කර ගැනීමේ ක්‍රම ගැන සුනඛ හිමිකරුවන් දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවන බව SRF මාධ්‍ය ජාලය පවසයි.

යුරෝපය පුරා මේ දිනවල අධික උණුසුම් තත්වයක් පවතින අතර, ස්පාඤ්ඤයේ අද දින (අගෝස්තු 3) උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක් ලෙස සනිටුහන් විය.

මේ අතර, ස්විට්සර්ලන්තය 1864 වසරෙන් පසු වැඩිම උෂ්ණත්වයකින් යුත් සරත් සෘතුවට මුහුණ දෙමින් සිටින අතර, ජූලි මස උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් දක්වා වැඩි විය. රටේ ඇතැම් පළාත්වල නියඟයක්ද දක්නට ලැබුණු බව SwissInfo පුවත් වෙබ්අඩවිය වාර්තා කර තිබේ.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වුවත්, පොළොව සෙල්සියස් අංශක 50 -55ක් පමණ රත් වී ඇති බව දැනෙන හෙයින් සුනඛයන් දැඩි අපහසුතාවට පත්වන්නේ යැයි සූරික් පොලිස් ප්‍රකාශක මයිකල් වෝකර් පැවසීය.

"සුනඛයන් රත් වූ තාර මත ඇවිදින විට, ඔවුන්ගේ යටිපතුල් පිච්චෙන්න පුළුවන්. එය හරියට මනුෂ්‍යයෙක් සපත්තු නැතුව තාර පාරේ ඇවිදිනවා වගේ," ඔහු SRF වෙත පැවසීය.

සුනඛයන් ඇවිදීමට රැගෙන යෑමට පෙර තත්පර පහක කාලයක් සිය අත්ල පොළොවට තබා උෂ්ණත්වය පරීක්ෂා කර බලන ලෙස සූරික් පොලිසිය සුනඛ හිමිකරුවන්ට අවවාද කර තිබේ.

shoes for dogs

ඡායාරූප මූලාශ්‍රය, STADTPOLIZEI ZÜRICH

ඡායාරූප ශීර්ෂ වැකිය, සුරතල් සතුන් රත් වී තිබෙන වාහනවල දමා වසා යෑම නොකරන ලෙසත්, ඔවුන්ට අවශ්‍ය තරම් බීමට ජලය ලබා දෙන ලෙසටත් අවවාද

එමෙන්ම, සිය සුරතල් සතුන් රත් වී තිබෙන වාහනවල දමා වසා යෑම නොකරන ලෙසත්, ඔවුන්ට අවශ්‍ය තරම් බීමට ජලය ලබා දෙන ලෙසටත් ඔවුහු අවවාද කරති.

"උණුසුම වැඩිද? එහෙනම් ඉර එළිය තදින් වැටුන තාර පාරවල් මගහරින්න. විශාල සුනඛයන්ට 'සපත්තු' පළඳවන්න. ප්‍රමාණයෙන් කුඩා සුනඛයන් දෝතින් රැගෙන යන්න" යැයි ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබිණි.

පොලිස් සේවයේ යෙදෙන සුනඛයන් කුඩා සපත්තු පැළද සිටින ඡායාරූප ඇතුළත් මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය ෆේස්බුක් පරිශීලකයන්ගේ මහත් ප්‍රශංසාවට ලක් වෙමින් තිබේ.

යම් අපරාධ පරීක්ෂණයකට සහභාගී වීමේදී මෙන්ම සුනඛයන් පොලිස් රථ වාහනවලට නංවා ගැනීමේදී එහි අසුන් ආරක්ෂා කර ගැනීම සඳහා ද ඔවුන්ට සපත්තු පළඳවන බව සූරික් පොලිසිය පවසයි.

මේ තොරතුරුද දැනගන්න: