ගෑස් කාන්දුවකට සමාන වූ දූරියන් ගන්ධය

දූරියන්
Published

ගෑස් කාන්දුවක් යැයි සැක කළ ගන්ධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විශ්වවිද්‍යාලයක ගුරුවරුන් සහ සිසුන් පන්සීයකට අධික ප්‍රමාණයක් හදිසියේ ඉවත් කර තිබේ.

විශ්වවිද්‍යාල පුස්තකාල ගොඩනැගිල්ල තුළින් හැමූ ගන්ධය ගෑස් කාන්දුවක් ලෙස සැක කළ නමුත්, එය අල්මාරියක් තුළ දමා ගිය දූරියන් ගෙඩියක් නරක් වීමෙන් ඇති වූවක් බව පසුව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

දූරියන් ගෙඩිය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යා හැකිය. සමහරුන් එය ප්‍රසන්න සුවඳක් ලෙසින් සැලකුවද බොහෝ දෙනාට එය පිළිකුල දනවන කටුක ගන්ධයකි.

එහි ගන්ධය වායු සමීකරණය හරහා ශාලාව තුළ පැතිරී ගොස් තිබුණු බව එය පරීක්ෂා කිරීම පිණිස එහි පැමිණි ගිනි නිවන භටයෝ පැවසූහ.

මේ වන විට එම ගොඩනැගිල්ල නැවත විවෘත කර ඇති බව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් ගිනි නිවන හමුදාව නිවේදනය කළේය.

දූරියන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අග්නිදිග​ ආසියාතිකයන් දූරියන් හඳුන්වන්නේ "පළතුරු අතර රජු" ලෙසය.

'ටර්පන්ටයින් සහ ළූණු'

අධ්‍යන කාර්යන් සදහා භාවිත කරන නොයෙකුත් රසායන ද්‍රව්‍ය විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල තුළ ගබඩා කර ඇති හෙයින් මෙම ගන්ධය පැතිරෙන්නේ කුමකින්දැයි පරීක්ෂණ පැවැත්වීම පිණිස ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉවත් කිරීමට පොලිසියට සිදු විය.

ගන්ධය නිකුත් වී ඇත්තේ අහිතකර ගෑස් කාන්දුවකින් නොව නරක් වෙමින් පවතින දූරියන් ගෙඩියකින් බව "පුළුල් පරීක්ෂණවලින්" අනතුරුව සොයා ගත් බව ගිණි නිවන හමුදාව ප්‍රකාශ කළේය.

'ද ස්මිත්සෝනියන්' (The Smithsonian) සඟරාව දූරියන් ගෙඩියෙන් පිටවන ගන්ධය විස්තර කර ඇත්තේ "ව්‍යායාම් කරන විට පැළඳ සිටින මේස්වලින් නිකුත්වන ගඳ සමග ටර්පන්ටයින් සහ ළූණු එකතු වූවා හා සමාන" ලෙසය.

මොනවද මේ දූරියන්?
ඡායාරූප ශීර්ෂ වැකිය, දූරියන් ගෙඩියෙන් දැඩි ගන්ධයක් නිකුත් වීමට හේතුව සතුන් ආකර්ෂණය කර ගැනීමට බව දූරියන් පිළිබද පරීක්ෂණ පවත්වන සිංගප්පූරු පරීක්ෂකයෝ කණ්ඩායමක් පවසති

මොනවද මේ දූරියන්?

  • අග්නිදිග ආසියාවට ආවේණික ඝර්ම කළාපීය පළතුරක් වන දූරියන්, දැඩි කටු සහිත ලෙල්ල සහ එයටම ආවේණික සුවඳ නිසා විශේෂත්වයක් උසුලයි.
  • මෘදු මිහිරි දූරියන් මදය සම්පූර්ණයෙන් ඉදුණු පසු පරිභෝජනය කිරිමේ හැකියාව පවතී.
  • මෙම සුවඳ ගැඹුරු රසාස්වාදයක සිට ප්‍රබල අප්‍රසන්නතාවයක් දක්වා සංවේදනා ඇති කිරීමට සමත් වන අතර එය ආමන්ඩ් සුවඳ ලෙසින්ද, කුණු ළූණු ගඳ ලෙසින්ද, ටර්පන්ටයින් සුවඳ ලෙසින්ද, කුණුකසල ගන්ධයක් ලෙසින්ද අර්ථ දක්වනු ලැබේ.
  • මෙම පලතුරෙන් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙන් සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතිවල දූරියන් රැගෙන යෑම තහනම් කර ඇත.

මේ තොරතුරුද දැනගන්න: