ලොව වේගවත්ම දුම්රියත් චීනයට

Published

චීනයේ අධිවේගී දුම්රිය පද්ධතිය යළිත් ලෝකයේ වේගවත්ම දුම්රිය ජාලය බවට පත් කිරීමේ සැලසුම් පෙරට යමින් පවතී.

හතළිහක් පමණ මගීන් ජීවිතක්ෂයට පත් කරමින් 2011 වසරේ සිදු වූ අනතුරු දෙකකින් අනතුරුව සිය අධිවේගී දුම්රිය වේගය පැයට කිලෝමීටර් 300 කට සීමා කිරීමට චීන බලධාරීහු පියවර ගෙන තිබුණි.

එහෙත් පැයට කිලෝමීටර් තුන්සීයේ එම වේග සීමාව අවසන් කරමින් පැයකට කිලෝමීටර් 350 ක වේගයකින් අධිවේගී දුම්රිය හතක් ලබන සතියේ පටන් ධාවනයේ යෙදවීම චීන බලධාරීන්ගේ නව සැලැස්මයි.

එම නව වේගය අනුව 'බේජින්' සිට 'ෂැන්හයි' නගරයට ළඟා වීමට ගත වෙන කාලය පැයකින් පමණ අඩු වනු ඇත.

ජාතික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඔසවා තැබීම් වස් නව අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය නම් කරනු ලැබ තිබෙන්නේ 'ෆුක්ෂින්' (Fuxing) යන චීන වචනයෙනි.

චීන ආණ්ඩුවේ සටන් පාඨයක් වන ෆුක්ෂින් (Fuxing) යන්න සංවර්ධන සැලසුම් සඳහාත් භාවිතා කෙරෙයි.

එහි තේරුම "තරුණ නැත්නම් නව යොවුන්" යන්නයි.

අලුතින් හඳුන්වා දී ඇති පැයට කිලෝමීටර් 350 වේගය අනුව අධිවේගී දුම්රිය හතක් ලබන සැප්තැම්බර් 21 දින පටන් ධාවනයට අවසර ලැබී ඇත.

මෙම අධිවේගී සෑම දුම්රියකටම වැඩි දියුණු කරන ලද අධීක්ෂණ උපකරණ සවි කරනු ලැබ ඇත.

ඒ අනුව හදිසි තත්වයක දී අධිවේගී දුම්රියේ ධාවන වේගය ස්වයංක්‍රීය ලෙස ස්වයංක්‍රීය ලෙස පාලනය කෙරෙන අතර දුම්රිය ඉබේම නතර වෙයි.

දුම්රිය මාර්ග තවත් නවීකරණය කරමින්, දැනට පවතින පැයට කිලෝමීටර් 350 වේගය පැයට කිලෝමීටර් 400 තෙක් ගෙන ඒමට හැකි වනු ඇතැයි චීනයේ ජාතික දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථානය බලාපොරොත්තු තබයි.

කිලෝමීටර් 19,960 ක අධිවේගී දුම්රිය මාර්ග ජාලයක් දැනට චීනය සතු වෙතැයි විශ්වාස කෙරෙයි.

2011 වසරේ අධිවේගී මාර්ගයේ වාර්තා වූ දුම්රිය අනතුරු දෙකෙන් අනතුරුව දුම්රිය භාර අමාත්‍යංශයේ කටයුතු පිළිබඳව රාජ්‍ය මට්ටමේ විභාගයක් පැවැත්වුණි.

මහා පරිමාණයෙන් සිදු කර තිබුණ දූෂණ පිළිබඳව එම විභාගයේ දී හෙළිදරව් විය.

මූල්‍ය වංචා කිරීම් මෙන්ම බලය අයුතු ආකාරයට පාවිච්චි කරන ලද නිලධාරීන් පිළිබඳව එම විභාගයේ දී කරුණු අනාවරණය වූ අතර ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුණි.

ඔවුන් අතරින් ඉහල මට්ටමේ නිලධාරීන් දෙදෙනකුට මරණීය දණ්ඩනය නියම කළත් පසුව එම මරණ දඬුවම් අත්හිටවනු ලැබුණි.