'තායි කුමරු' රාජ්‍යත්වයට පත්කිරීමේ කටයුතු ඇරඹෙයි

Published

තායිලන්තයේ ඇතුලතේජ් රජතුමාගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් මහා වචිරාලොන්ගෝන් කුමරු සිහසුනට පත් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.

තායිලන්ත සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තුව විසින් රජ කිරුළ භාර ගන්නා මෙන් ඉල්ලමින් සම්මත කරන ලද ඇරයුම් පත්‍රයක් කුමරු වෙත යවනු ලබන අතර ඔහු රාජාභිෂේකය ලැබීමට පෙර එම ඇරයුම්පත පිළිගත යුතුව ඇත.

තායිලන්තයේ මුළුමහත් ජනතාව ශෝකයට පත් කරමින් වසර හැත්තෑවක් පුරා රාජ්‍යත්වය දැරූ ඇතුලතේජ් භූමිපාල් රජු පසුගිය ඔක්තෝබර් මාසයේ අභාවප්‍රාප්ත විය.

සිය පියාගේ අභාවයෙන් පසු තායිලන්ත රජ කිරුළ ඔහුගේ පුතු මහා වචිරාලොන්ගෝන් කුමරු විසින් භාර ගනු ලබන බවට විශ්වාස කෙරුණත් කුමරු ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රාජාභිෂේකය අඩුම තරමින් තව වසරක් කල් දැමීමට තමන් අදහස් කරන බවය.

සිය තීරණයට හේතු පැහැදිළි කළ කුමරු, තායිලන්ත ජනතාවට දශක ගණනාවක් මුළුල්ලේ නායකත්වය දුන් සිය පියා අහිමි වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට කල් ලබා දීම සිය පරමාර්ථය බව පැහැදිළි කළේය.

කෙසේ වෙතත් තායිලන්ත සම්ප්‍රදායට අනුව රජු අභාවප්‍රාප්ත වූ වහාම ඔටුන්න හිමි කුමරු රාජාභිෂේකයට පත් කළ යුතු බැවින් කුමරුගේ තීරණය රට යම් අවිනිශ්චිත භාවයකට පත් කොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.