ඉන්දියාවේ රෝහලක ගින්නකින් විස්සක්වත් මරුට

Published

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ රෝහලක් තුළ හට ගත් ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ භුබානෙස්වර් නගරයේ පිහිටි එස්යුඑම් නමැති පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකය පිහිටි ගොඩනැගිල්ල තුළ ගින්න හට ගෙන ඇති බවය.

ගින්නට හසු වී සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් වැඩි දෙනකු අසාධ්‍ය තත්වයේ පසු වන බව ප්‍රාන්ත සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණනාවක් අවට පිහිටි වෙනත් රෝහල් වෙත රැගෙන යනු ලැබ තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් එකසිය විසි දෙනකු පමණ යොදවනු ලැබ තිබූ අතර පසුව ගින්න පාලනය කෙරිණ.

අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ ඉන් තමා 'සංවේගයට' පත් වූ බවය.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගෙන ඇතැයි රෝහල් බලධාරීහු සැක කරති.

දුමාරය ආඝ්‍රාණය කිරීම බහුතරයක් මරණවලට හේතු වී ඇති බවත් වාර්තාවේ.

2011 වසරේ කල්කටා නගරයේ පිහිටි රෝහලක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් අසූ නව දෙනෙක් මරුමුවට පත් වූහ.