උදයාංග වීරතුංග: පරීක්ෂණවලට 'රුසියාවේ සහාය'
යුක්රේනයේ කැරලිකරුවන්ට ආයුද විකිණූ බවට චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට සහාය දීමට සූදානම් යයි රුසියානු රජය දැනුම් දුන් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ප්‍රකාශ කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වුණු ෂැන්හායි සහයෝගිතා සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.
"ඔවුන් කියා සිටියා එරට නීතිය සහ ජාත්‍යන්තර නීතියට එරෙහිව කිසිම කටයුත්තකට රුසියානු රජය අනුග්‍රහය නොදක්වන බවත්, රුසියානු රජය උදයාංග වීරතුංග පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් පවත්වන යම් පරීක්ෂණයක් වෙතොත් සහාය දීමට කැමති බවත්," ඔහු පැවසීය.
'හොරු වෙනුවෙන් හොරු'
යළි සියරට කැඳවීමෙන් අනතුරුව මින් සති කිහිපයකට ඉහතදී මොස්කව් නුවරින් පිටව ගිය හිටපු තානාපති උදයාංග වීරතුංග ශ්‍රී ලංකාවට නොපැමිණි බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ.
ඉන් අනතුරුව ඔහු මෑතදී ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ තිබෙන බවත්, ඔහු තවමත් සිය රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය භාර දී නැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහේශිනී කොලොන්නේ පසුගිය සතියේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.
උදයාංග වීරතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, විපක්ෂයේ යෝජනා වලට එකඟව ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නමුත් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජය නියෝජනය කෙරෙමින් පත්කෙරෙන සාමාජිකයින්ගේ නම් අනුමත කරගැනීම සඳහා සහයෝගය නොදෙන බවට විපක්ෂයට චෝදනා කළේය.
ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීම ප්‍රමාද කිරීම තුලින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලාපොරොත්තු වන්නේ අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය මාස කිහිපයකට අඩාල කිරීම බවටද ඔහු චෝදනා කළේය.
"මේ විපක්ෂයේ ඉන්න හොරු වෙනුවෙන් හොරු නියෝජනය කරන මන්ත්‍රීවරු කරන්න උත්සාහ කරන්නේ හොරුන් ආරක්ෂා කිරීම, දූෂිතයන් ආරක්ෂා කිරීම," නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.