ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට පළ. නෙඩුමාරන් කළ ප්‍රකාශය ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රතික්ෂේප කරයි
දෙමළ විමුක්ති කොටි සංවිධානයේ (LTTE) නායක ප්‍රභාකරන්, ඔහුගේ බිරිඳ සහ දියණිය සුවෙන් සිටින බවත්, ඔවුන් නිසි වේලාවට ලෝකයා හමුවේ පෙනී සිටිනු ඇති බවත් පළ. නෙඩුමාරන් පවසයි. කෙසේ වෙතත් හෙතෙම ඝාතනයට ලක් වූ බව ශ්‍රී ලංකා යුධ හමුදාව බීබීසි පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ තංජාවූර් ප්‍රදේශයේ පිහිටා ඇති මුල්ලිවායිකාල් හි දී අද පළ.නෙඩුමාරන්, කිවියර කාසි ආනන්දන් යන අය මාධ්‍ය හමුවක් කැඳවූහ. එම හමුවේ දී, ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ අය සුවෙන් සිටින බව ඔහු ප්‍රකාශ කළේ ය. ඒ සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් ඔහු ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ ය.
පළ.නෙඩුමාරන්ගේ ප්‍රකාශය
"දෙමළ ජාතියේ නායක ප්‍රභාකරන් සම්බන්ධයෙන් එක් නිවේදනයක් කිවියර කාසි ආනන්දන් සහ විවිධ නායකයන් ඉදිරියේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම සතුටට පත් වෙමි."
"ජාත්‍යන්තරයේ හැසිරීමත්, ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරුන් පාලනයෙන් පළවා හැරීමට තරම් ප්‍රබලව සිංහල ජනයාගේ විරෝධය මතු වී තිබීමත් ප්‍රභාකරන් නැවත ලෝකය හමුවේ පෙනී සිටීමට සුදුසු කාලය නිර්මාණය කර ඇත."
"මෙවැනි පසුබිමක ප්‍රභාකරන් සුවෙන් සිටින බවට වන සතුටුදායක පුවත ලෝකය පුරා සිටින දෙමළ ජනයාට ස්ථිර වශයෙන් පැවසීම සම්බන්ධයෙන් අප සතුටට පත් වෙමු. මේ දක්වා සැලසුම් සහගත ලෙස ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අනුමානයන්වලට සහ බිය ගැන්වීම්වලට මෙය අවසානයක් වනු ඇතැයි විශ්වාස කරමු."
"ලාංකීය දෙමළ ජනයාගේ නිදහස සඳහා වන සැලසුම ඔහු ඉදිරියේ දී ඉදිරිපත් කරනු ඇත. ලාංකීය දෙමළ ජනයා සඳහා ලෝකවාසී දෙමළ ජනයා එක් වී ඔහුට අවශ්‍ය සහය ලබා දිය යුතු යැයි ඉල්ලා සිටිමු."
"විමුක්ති කොටි සංවිධානය ශක්තිමත්ව සිටින කාලයේ දී ඉන්දියාවට විරුද්ධ කිසිදු රටක් තම දේශයට පැමිණීමට ඔවුන් අවසර ලබා දුන්නේ නැත. ඉන්දියාවට විරුද්ධ රටවලින් ආධාර ලබා නොගෙන සිටීමේ ස්ථාවරයක ප්‍රභාකරන් සිටියේ ය. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ස්ථිරව සිය ව්‍යාප්තිය සිදු කරමින් ඉන්දියාවට අභියෝග කරන ලෙස ඉන්දිය සාගරය තුළ චීනයේ බල ව්‍යාප්තිය පාලනය කිරීමට ඉන්දිය රජය කටයුතු කළ යුතු යැයි අප ඉල්ලා සිටින්නෙමු."
"මෙම වැදගත් කාල පරිච්ඡේදය තුළ තමිල්නාඩු රජයත්, තමිල්නාඩුවේ දේශපාලනයේ නිරත වන සියලු පක්ෂත් දෙමළ ජනතාවත් එක්ව දෙමළ ජාතියේ නායකයා වන ප්‍රභාකරන් හට සහාය ලබා දිය යුතු යැයි ඉල්ලා සිටිමු." යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් ව තිබිණ.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් නෙඩුමාරන්,"ප්‍රභාකරන්ගේ පවුලේ අය සමග මට සබඳතාවයක් තිබෙනවා. ඒ මාර්ගයෙන් දැනගත් කරුණු ටික ඔවුන්ගේ අනුමැතිය ඇතිව මෙතැන දී කිව්වා. ඔහු කොහෙද ඉන්නේ, කවද්ද එන්නේ කියලා දැනගන්න හැමෝම සූදානමින් ඉන්නවා. නමුත් ඔහු ඉතා ඉක්මනින් ලෝකයා හමුවේ පෙනි සිටියි. බිරිඳ සහ දියණියත් සුවෙන් ඉන්නවා." යනුවෙන් ප්‍රකාශ කළේ ය.
මෙපමණ කාලයක් ගත වීමෙන් අනතුරුව මෙය ප්‍රකාශ කිරීමට හේතුව කුමක් දැයි මාධ්‍යවෙදීන් ඇසු විට ඔහු කියා සිටියේ, "ජාත්‍යන්තර වාතාවරණය මේ වනවිට යහපත් මට්ටමක පවතිනවා. රාජපක්ෂවරුන් බලයට රැගෙන ආ සිංහල ජනයා දැන් ඔවුන්ට විරුද්ධ ව අරගල කර ඔවුන්ව දැන් බලයෙන් නෙරපා හැර තිබෙනවා. සිංහල ජනයා දැන් ඇත්ත තේරුම් ගනිමින් ඉන්නවා. මීට වඩා සුදුසු කාලයක් තියෙන්න පුළුවන් ද..?" යනුවෙනි.
'ප්‍රභාකරන් ජීවතුන් අතර නැහැ' - ශ්‍රී ලංකා යුධ හමුදාව
කෙසේ වෙතත් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට පළ වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හමුදාව පවසයි.
ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට පළ වූ පුවත සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත්ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, "දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් අවසන් යුද සමයේ දී මිය ගිය බවට සාක්ෂි අප සතුව තිබෙනවා." යනුවෙනි.
"2009 වසරේ පැවැති අවසන් යුද්දයේ දී ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා. ඩී.එන්.ඒ සාක්ෂි අපි ළඟ තියෙනවා. 2009 වසරේ මැයි මාස 18 දින අවසන් යුද්දයේ දී ඔහු ඝාතනයට ලක් වුණා. එදින ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා කියන ඩී.එන්.ඒ පරීක්ෂණ ඇතුළු සියලු සාක්ෂි අපි ගත්තා. ඔවුන් ලබා දී තියෙන්නේ වැරදි පුවතක්."
"මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. මොකද කිව්වොත් ඔහු ඝාතනයට ලක් වුණා කියලා අපි හැමෝම හොඳින් දන්නවා. ඒ ගැන සැකයක් නැහැ.." යනුවෙන් බ්‍රිගේඩියර් රවි හේරත් බීබීසි දෙමළ සේවය වෙත ප්‍රකාශ කළේ ය.
මෙම ප්‍රකාශ වල පසුබිම කුමක්ද?
ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවත් එය ලෝකයට හෙළි කළ යුතු බවත් තමිල්නාඩුවේ සිටින ඊළම් අරගයට සහය පළ කරන පිරිසක් දින කිහිපයකට පෙර ඉල්ලීමක් සිදු කර තිබේ. ඒ අනුව අද තංජාවූර් හී පළ. නෙඩුමාරන්ගේ නායකත්වයෙන් ඊළම් අරගයට සහය පළ කරන තමිල්නාඩු නායකයන් එක් වී මාධ්‍ය හමුවක් සංවිධාන කළහ.
මෙම සංවිධාන කිරීමට ඉරිදා දිනයේ දී අවසන් අදියරයට පැමිණ තිබේ. එහෙත් ප්‍රභාකරන් සම්බන්ධයෙන් ස්ථිර කරන ලද පුවතක් නොලැබුණ හෙයින් බොහෝ නායකයින් මෙම හමුවට සහභාගී නොවී සිටිමට තීරණය කළ බව ද ආරංචි මාර්ග පවසයි.
මෙවැනි පසුබිමක කිවියර කාසි ආනන්දන් සහ පළ. නෙඩුමාරන් යන අය මාධ්‍ය හමුවකට එක්වී මෙම ප්‍රකාශය සිදු කොට තිබේ.