සිසුවිය 'මවක් ' කළ වැරදි වාර්තාව නිසා අසාධාරණයට ලක් වූ දැරියට යුක්තිය ඉටු කරන්නේ කෙසේද?

වීඩියෝ ශීර්ෂ වැකිය, වැරදි වාර්තාව නිසා අසාධාරණය ලක් වූ සිසුවියට යුක්තිය ඉටු කරන්නේ කෙසේද?
Published

ආර්ථික ගැටලු නිසා පාසල් නොයන බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ අවුරුදු 13ක දැරියක ගැන තමන් ජනාධිපති ලේකම්ට යොමු කළ ලිපියේ අන්තර්ගත කරුණු නිවැරදි නොවන බව පසුව දැනගන්නට ලැබුණු බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි BBC සිංහල සේවයට පැවසුවේය.

අනියම් සම්බන්ධතාවක් මත අදාළ දැරිය මවක බවත්, ආර්ථික අපහසුතා නිසා පාසල් නොයන බවට ඇය මාධ්‍යයට කළ ප්‍රකාශය සාවද්‍ය බවත් දිස්ත්‍රික් ලේකමවරයා විසින් ජනාධිපති ලේකම්ට යවන ලද ලිපියේ සඳහන් කර තිබිණි.

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගන්නා ලද කරුණු එම ලිපියට පදනම් කරගෙන තිබිණි.

පසුව අනාවරණය වී තිබෙන්නේ, පාසලෙන් වාර්තාව සැකසීමේදී තොරතුරු ඉල්ලා සිටි දැරිය වෙනුවට වෙනත් දැරියකගේ තොරතුරු ඇතුළත් කර මූලික වාර්තාව සකස් කර ඇති බවය.