ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2018 පිල් මාරුව:හඬපටවලින් හෙළි වූ මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ සිදුවීම් ආශ්‍රිත විමර්ශනයට සිදු වූයේ කුමක්ද?
"රංගේ ඔයා එනවාද?" ඒ, මීට වසර කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ජනප්‍රිය හඬපටයකි.
දේශපාලනඥයින් දෙදෙනෙකු අතර සිදුවු බව කියන කතා බහක එම හඬපටය මෙන්ම, 2018 වසරේ දී ආන්දෝලනාත්මක හඬපට කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය අල්ලස් ලබා දීමට තැත් කිරීමක් පිළිබඳ හෙළි විය.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2018 නොවැම්බර් 05 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයක් පිළිබඳ අවධානය යොමු කරමින් 2018 දෙසැම්බර් 10 වන දින ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් නැවත වරක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිපියක් ඉදිරිපත් කළේය.
පැමිණිල්ල සම්බන්ධව අල්ලස් කොමිසමේ ස්ථාවරය
මෙම පැමිණිල්ලෙන් වසර 4කට පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසමෙහි ස්ථාවරය ලිපියක් මඟින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙත දන්වා එවා ඇත.
ඒ අනුව 2018 වසරේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීමේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ, ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවීම යනු හේතු මතයි.
දින 52 ආණ්ඩුව
2018 ඔක්තෝබර් 26 වන දින රාත්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය "යහපාලන" හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම හා එතෙක් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යොමු කළ ලිපියත් සමඟ ශ්‍රී ලංකාව දේශපාලන හා ව්‍යවස්ථා අර්බුදයකට ගියේය.
ඔක්තෝබර් මුල සමයේ සහ ඊට සති කීපයකට පෙරාතුව, හිටපු ජනපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව නිර්මාණය කෙරෙන 'භාරකාර රජයක්' පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් පැතිර ගිය අතර එය එවකට මාධ්‍යවල සිරස්තල නිර්මාණය කිරීමට ද සමත් විය.
අදාළ හඬපට පිළිබඳ වාර්තා වුයේ දින 52 ආණ්ඩුවේ 'බහුතරය' නිර්මාණය කිරීම සඳහා ප්‍රයත්න දරමින් සිටින අතරතුරය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර ජනමාධ්‍යයට හෙළි කළ කරුණු පදනම් කරගෙන,මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් සහ වංචා, දූෂණ විමර්ශන කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.