ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මංකිපොක්ස්' ආගමනයට ශ්‍රී ලංකාව සූදානම් ද?
වේගයෙන් ලොව පුරා පැතිරී යන වඳුරුඋණ හෙවත් 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ, රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේය.
'මංකිපොක්ස්' බවට සැක කළ හැකි රෝගියෙක් ද?
වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි, එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක් සමඟ හිසරදය එක්වරම හටගත් උණ, වසාගැටිති ඉදිමුම, මස් පිඩු වේදනාව, කොන්දේ වේදනාව, තදබල තෙහෙට්ටු ස්වභාවය යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා 'මංකි පොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි අයෙකු ලෙස සැලකෙයි.
කෙසේ නමුත් මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, මෙම ලක්ෂණ සහිත පුද්ගලයෙක් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේය.
'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින්
අදාළ රෝග ලක්ෂණ අනුව 'මංකි පොක්ස්' බවට සැක කෙරෙන පුද්ගලයෙක්, තහවුරු කළ 'මංකිපොක්ස්' රෝගියෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ රෝග ලක්ෂණ හටහැනීමට දින 21ක් ඇතුලත, නාඳුනන අයෙකු සමඟ හෝ එක් අයෙකුට වැඩි දෙනෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් මංකිපොක්ස් වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාල ප්‍රතිඵල ලැබේ නම්, 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙයි.
යමෙකු 'මංකිපොක්ස් රෝගියෙකු' බවට නිශ්චිතවම තහවුරු කළ හැක්කේ සමෙහි ඇති වූ තුවාල වල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණි.
'මංකි පොක්ස්' ආශ්‍රිතයින්'
මුල්ම රෝග ලක්ෂණය හටගැනීමේ පටන් තුවාල වියලී, කබොලු සියල්ලම හැලී යන තුරු 'මංකිපොක්ස්' රෝගියෙකු වාහකයෙක් විය හැකිය'
එම වාහක කාලය තුල 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි' හෝ ' 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි ' කෙනෙකු, මුහුණට මුහුණලා සමීපව ඇසුරු කලහොත් හෝ ඉතා සමීප ශාරීරික සබඳතා පැවැත්වුවහොත් හෝ පරිහරණය කළ උපකරණ හෝ ඇඳ ඇතිරිලි යනාදිය භාවිතා කලොත් ඔවුහූ ආශ්‍රිතයින් ලෙස සැළකෙති.
රෝග ලක්ෂණ කිසිවක් නැති ආශ්‍රිතයින්, සෞඛ්‍ය උපදෙස් අනුව දින 21 ගතවන තෙක් පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර රෝග ලක්ෂණ එකක් හෝ පැවතියහොත් වහාම අන් අයගෙන් වෙන් වී උපදෙස් අනුව කටයුතු කල යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේය.
පරීක්ෂණ උපකරණ රෝහල් වෙත
මන්කිපොක්ස් පරීක්ෂණ උපකරණ වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා මහනුවර ජාතික රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි කියා සිටියේ එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුණු ඒවා බවයි.
මේ වනවිට මන්කිපොක්ස් පරීක්ෂණ කටයුතු සඳහා මෙරට සෞඛ්‍ය අංශ සූදානමින් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.