ආදීවාසී සම්භවයක් සහිත පළමු ඉන්දීය ජනපතිනිය:ද්‍රෞපදී මුර්මු ගැන ඔබ දන්නවාද?

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

ආදීවාසී සම්භවයක් ඇති දේශපාලනඥයෙකු වන ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ නව ජනාධිපති ලෙස අද (ජුලි 25) දිවුරුම් දුන්නා ය.

පාලක භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාව වූ 64 හැවිරිදි ද්‍රෞපදී ඔඩිෂා (ඔරිස්සා) ප්‍රාන්තයෙන් පැමිණි අයෙකු වන අතර, හිටපු ගුරුවරියක මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරධුරයක් ද හෙබවූ තැනැත්තියකි.

ඇය රටේ ඉහළම තනතුරට පත් ප්‍රථම, ආදීවාසී සම්භවයක් ඇති නායකයා ද වේ.

ඉන්දියාවේ ජනාධිපති යනු එරට රාජ්‍ය නායකයා වුවත්, විධායක බලතල ක්‍රියාවේ යෙදවීමේ හැකියාව නැත.

එම තනතුරට පත්වන තැනැත්තා හෝ තැනැත්තිය ඊට තෝරාගනු ලබන්නේ උභය මාණ්ඩලික පාර්ලිමේන්තුව, ප්‍රාන්ත සභා සහ ෆෙඩරල් පාලනය යටතේ ඇති සාංගමික බලප්‍රදේශවල නියෝජනය කරන සාමාජිකයන් විසිනි.

සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ප්‍රවීණ දේශපාලනඥයකු වන යශ්වන්ත් සින්හා පරදවමින් ද්‍රෞපදී ඉතා පහසු ජයක් අත්කර ගත්තා ය. 1990 ගණන් හා 2000 ගණන්වල මුල් අවධියේ හිටපු අගමැති අතල් බිහාරි වාජ්පායී නායකත්වය දැරූ සමයේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු වූ සින්හා, දැන් සිය පක්ෂය හා අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනය කරන්නෙකි.

ද්‍රෞපදීට පෙර ජනාධිපති ධුරය හෙබවූ රාම් නාත් කෝවින්ද් 24 වන දා (ඉරිදා) සිය ධුරකාලය අවසන් කළේ ය.

ජනාධිපති ධූරාපේක්ෂකත්වය සඳහා 20 දෙනෙකුගේ නම් භාරතීය ජනතා පක්ෂය සහ එහි හවුල්කාර පක්ෂවල අවධානයට ලක්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් කෙරුණු ගැඹුරු සාකච්ඡාවකින් අනතුරුව ඊට ද්‍රෞපදී තෝරාගැණිනි.

සිය නාමයෝජනාව රූපවාහිනියෙන් දැනගත්විට එම පුවත තමා "පුදුමයට" මෙන්ම "ප්‍රමෝදයට" පත්කළ බව ඇය පැවසුවා ය.

"ඉතා දුර බැහැර මයුර්බාන්ජ් දිස්ත්‍රික්කයෙන් ආ ආදීවාසී සම්භවයක් සහිත කාන්තාවක් වූ මට මම මේ ඉහළම තනතුරට පත්වීමේ අපේක්ෂකයෙක් වේවි කියන අදහසක් තිබුණේ නැහැ,"යි සිය නාමයෝජනාව දැන ගැනීමෙන් පසු වාර්තාකරුවන් හමුවේ කියා සිටියා ය.

මෙම නාමයෝජනාව ඇගයූ ඔඩිෂා ප්‍රාන්ත දේශපාලන නායකයෝ ඇය "භූමියේ දියණියක" ලෙස හැඳින්වූහ.

1980 ගණන්වල සිට ද්‍රෞපදී දැන හඳුනන පක්ෂ සගයකු වන කබි විෂ්ණු සත්පති ඇය හැඳින්වූයේ "සෘජු හා සරල" තැනැත්තියක ලෙසිනි.

"[ඇය] කරුණාබරිත කාන්තාවක්, ඇයට හොඳ හදවතක් තිබෙනවා. අහංකාර හෝ කිපෙන අයෙක් නොවෙයි. පුහු මාන්නයක් නැති ඇය මිනිස්සු එක්ක නිදහසේ ගැවසෙනවා. නිහතමානීයි. දේශපාලනඥයකු වශයෙන් මිනිස්සු එක්ක ඉන්නෙ කොහොමද කියලා ඇය දන්නවා."

මේ අතර ඉන්දියාවේ උප ජනාධිපති තෝරාගැනීම සඳහා ලබන මාසයේ දී එරට නීති සම්පාදකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

භාරතීය ජනතා පක්ෂය (BJP) දැනටමත් ජ්‍යේෂ්ඨ නායකයෙකු ද, බටහිර බෙංගාලයේ වත්මන් ආණ්ඩුකාරවර ද වන ජග්දීප් ධන්කර් සිය අපේක්ෂකයා බව නිවේදනය කර ඇත. විරුද්ධ පක්ෂයෙන් උප ජනාධිපති ධූරාපේක්ෂක ලෙස යොදවන්නේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රවීණයෙකු මෙන්ම කිහිප විටක් ෆෙඩරල් අමාත්‍ය තනතුරු දරා ඇති මාග්‍රට් අල්වා ය.

ද්‍රෞපදී මුර්මු යනු කවරෙක්ද?

2017 වසරේ දී ද්‍රෞපදී වෙත මුලින්ම අවධානය යොමුවූයේ එකල ජනාධිපතිවරණය සඳහා ඇය නම් කිරීමට භාරතීය ජනතා පක්ෂය සළකා බලන්නේයැ යි කටකතා පැතිර යාමත් සමගිනි. ඒ වනවිට ඇය ජාර්කන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාරවරියව සිටියා ය.

වර්ෂ 1958 දී මයුර්භාන්ජ් දිස්ත්‍රික්කයට අයත් බයිඩපෝසි ගම්මානයේ උපන් ද්‍රෞපදී, ඉන්දියාවේ විශාලතම ආදීවාසී සම්භවයක් සහිත සමූයක් වන සන්තාල් ප්‍රජාවට අයත් ය.

ගම්සභා ප්‍රධානියකුගේ දියණිය වූ ඇය ප්‍රාන්ත අගනුවර වන භුබනේස්වර්හි පිහිටි රාමදේවී කාන්තා විද්‍යාලයයේ ඉගෙනුම ලැබීය.

1980 වසරේ සිට ඇය හඳුනන මාධ්‍යවේදිනියක මෙන්ම ක්‍රියාකාරිකයෙකු ද වන නිගමනන්දා පත්නායික් පවසන පරිදි ඇය මුලින් අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙනි.

"ද්‍රෞපදී කුඩා දැරියකව සිටිය දී ඇගේ පියා ඔඩිෂා ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ කාර්තික් මජ්හිගේ සංචාරයක් සිදුවන අතරේ ඇයව අසල නගරයක් වන රායිරන්ග්පූර් වෙත අරගෙන ගියා. එක්වරම වේදිකාවට දුවගෙන ගිය ඈ පාසල් සහතිකය වනමින් ඇමතිවරයාට කීවේ තමන්ට භුබනේස්වර්හි ඉගෙනගැනීමට ඕනෑ බවයි."

කුඩා දැරියගේ උනන්දුව දැක පැහැදුනු ඇමතිවරයා, ප්‍රාන්ත අගනුවර රජයේ පාසලකින් ඉඩක් ලබාගැනීමට ඇයට උදව් කරන්නැ යි සිය කාර්ය මණ්ඩලයට නියෝග කළ බව පත්නායික් පැවසුවාය.

ඔඩිෂා ආණ්ඩුවේ ලිපිකාරිනියක ලෙස සිය ගමන ඇරඹූ ද්‍රෞපදී 1979 - 1983 කාලය තුළ වාරිමාර්ග හා බලශක්ති දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සහායිකාවක විණි.

පසුව, සිය ස්වාමිපුරුෂයාගේ මවගේ බලකිරීම මත භුබනේස්වර්හි රැකියාවෙන් ඉවත්ව සිය පවුල රැකබලා ගැනීම සඳහා රායිරන්ග්පූර් වෙත පැමිණි ඇය ශ්‍රී ඔරොබින්දෝ පාසලේ ගුරුවරියක ලෙස එක්වුණා ය.

"නමුත් පාසලෙන් වැටුපක් ලැබීම ඇය ප්‍රතික්ෂේප කළා. පාසලෙන් ගෙවුවේ කුලී රථ ගාස්තුව විතර යි. මෙය රැකියාවක් නොව මහජන සේවයක් බව කීවා. ඇය කියා සිටියේ බැංකු නිලධාරියෙකු වූ තම ස්වාමිපුරුෂයාගේ වැටුප පවුලේ අවශ්‍යතා සඳහා සෑහෙන බවයි," පත්නායික් පැවසීය.

ද්‍රෞපදීගේ දේශපාලන ගමන් මඟ ඇරඹුණේ 1997 වසරේ දී රායිරන්ග්පූර්හි පැවැති ප්‍රාදේශීය ඡන්දයකින් නියෝජිතයෙකු ලෙස තේරි පත්වීමත් සමගිනි. නගරයේ සනීපාරක්ෂක කටයුතු ඇය පුද්ගලිකවම අධීක්ෂණය කරන ආකාරය නිතර දකින්නට ලැබුණු අතර කාණු පවිත්‍රකිරීම් සහ කැළිකසළ ඉවත්කරන තැන්වල හිරු රැස් නොතකමින් රැඳී සිටියා ය.

ඇය භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක ලෙස වසර 2000 සහ 2009 දී රායිරන්ග්පූර් අසුනින් දෙවරක් ප්‍රාන්ත සභාවට තේරී පත්විණි.

බිජු ජනතා දාල් පක්ෂයේ නවීන් පත්නායික්ගේ නායකත්වයෙන් යුතු වූ ප්‍රාන්ත සභාග ආණ්ඩුව තුළ වසර 2000 සිට 2004 තෙක් අමාත්‍ය තනතුරක් දෑරූ ද්‍රෞපදී මුලින් වානිජ හා ප්‍රවාහන විෂය ද, පසුව ධීවර හා සත්ත්ව සම්පත් විෂය ද භාරව කටයුතු කළා

වසර 2006 සිට 2009 දක්වා කාලය තුළ භාරතීය ජනතා පක්ෂය "උපලේඛනගත ගෝත්‍ර" සම්බන්ධයෙන් ස්ථාපනය කර තිබූ ප්‍රාන්තීය ඒකකයේ සභාපති තනතුර ඇය වෙත පැවරිණි. "උපලේඛනගත ගෝත්‍ර" යනුවෙන් හඳුන්වනු ලබන්නේ සමාජයීය හා ආර්ථිකමය වශයෙන් අවාසිසහගත තත්ත්වයකට මුහුණ පා ඇතැ යි ඉන්දීය ව්‍යවස්ථාවෙන් පිළිගනු ලැබ ඇති ගෝත්‍රික ප්‍රජාවන් ය.

2009 වසරේ දී සිය වැඩිමහල් පුතු අභිරහස් ආකාරයෙන් මියැදීමත් සමඟ ද්‍රෞපදීගේ ජීවිතය දුක්ඛිත අවධියකට එළැඹිණි. ඉන් වසර කිහිපයකට පසු දෙවෙනි පුතු මෙන්ම සැමියා ද ඇයට අහිමිවිය.

"ඇය හදවතින් වැළපුණා,"යි සත්පති කීවේය. "අපි මුණගැහුණු හැම අවස්ථාවක දීම සැනසිය නොහැකි ආකාරයෙන් ඇය හඬා වැටුණා. 'මගේ ජීවිතේ කිසිදෙයක් ඉතිරිවෙලා නැහැ' යි ඇය නිතර කීවා," යි ද ඔහු කියා සිටියේ ය.

නමුත් සිය ශක්තිය ඒකරාශී කරගැනීමට ඇය සමත්වූ අතර 2015 දී යාබද ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස පත්කරනු ලැබිණි. එතැන් සිට 2021 ජූලි මාසය තෙක් වසර හයක කාලයක් ඇය එම තනතුර දැරුවා ය.

ජාර්කන්ඩ් ප්‍රාන්ත අගනුවර වන රාන්චිහි සිටින BBC හින්දි සේවයේ රවී ප්‍රකාශ් පවසන ආකාරයට සිය ධුර කාලය තුළ ආණ්ඩුකාර කාර්යාලය සෑම තරාතිරමක ජනතාවට විවෘතව තැබීම හේතුවෙන් ද්‍රෞපදී ඇගයීමට ලක්වී තිබේ.

අවස්ථා ගණනාවකදීම නිල සම්ප්‍රදාය බිඳිමින් ඇය පුවත් මැවීය. වරක් ඔඩිෂා මහ ඇමති නවීන් පත්නායික් බැලීමට ඔහුගේ නිවසට යාම මෙන්ම සිය ගම් ප්‍රදේශය වූ මයුර්භාන්ජ්හි දුම්රිය සේවා දිගු කිරීම සඳහා දුම්රිය සේවා ඇමතිවරයාට බලපෑම් කිරීමට නියෝජිත පිරිසක් සමඟ යාම එවැනි අවස්ථා ය.

"ඒ අවස්ථා දෙකම සැලකෙන්නේ නිල සම්ප්‍රදාය කැඩූ අවස්ථා හැටියට යි. නමුත් ඇය ඒ ගැන තැකීමක් කළේ නැහැ,"යි ද්‍රෞපදීගේ දේශපාලන උපදේශක රාජ්කිශෝර් දාස් පැවසීය.

ද්‍රෞපදී මුර්මුගේ පෞර්ෂය තුළ දක්නට ඇති වඩා සුවිශේෂ ලක්ෂණය ලෙස "සතුටුදායක වගේම දුක්මුසු කාලවලදීත් ඇය පෙන්වන සම තත්ත්වයත්, ඛේදනීය තත්ත්වයක් හමුවේ වුවත් එය බැහැරට නොපෙන්වා දරාගැනීමට ඇති හැකියාවත්, සිය පවුල තුළ එකපිට එක ආ ඛේදනීය අවස්ථාවලින් පසු පවා තමන්ගේ ශක්තිය ඒකරාශී කරමින් ජනතාව වෙනුවෙන් වැඩ කළ ආකාරය ඇගේ චරිතයේ ඇති සුවිශේෂ ශක්ති ප්‍රමාණය පෙන්වනවා." යැයි රාජ්කිශෝර් දාස් පෙන්වා දෙයි.