ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිනේෂ් ගුණවර්ධන: නව අගමැතිවරයා ගැන මේ තොරතුරු ඔබ දන්නවාද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් නව අන්තර් කාලීන ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අද (ජූලි 22 වැනිදා) දිව්රුම් දුන්නේය.
කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඔහු දිව්රුම් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගි වූහ.
එසේම අද දහවල් 12.30ට පමණ නව ඇමැති මණ්ඩලය ද දිවුරුම් දීමට නියමිත බවට ජනපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.
කව්ද මේ දිනේෂ්....?
අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මා-පිය දෙපළ වන්නේ, මෙරට සමාජවාදයේ පියා වන, බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනය.
1949 මාර්තු 02 උපන් දිනේෂ් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධනගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටී.
දිනේෂ් ගුණවර්ධන පාසල් අධ්‍යාපනය ලැබුවේ, කොළඹ රාජකීය විද්‍යාලයෙනි. පසුව, ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය ආශ්‍රිත මෙන්ම ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රවාහනය පිළිබඳ උපාධි හිමිකර ගත්තේ, නෙදර්ලන්ත ව්‍යාපාරික විශ්වවිද්‍යාලයෙන් හා ඔරිගන් විශ්වවිද්‍යාලයෙනි.
දිනේෂ් ගුණවර්ධනයන් විවාහ වූයේ, රමණි වත්සලා කොතලාවල සමඟය .
1980 මැද භාගයේ ඇය හදිසියේ මියගිය අතර ඔහුගේ දරු දෙදෙනා වන්නේ, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන යදාමිණි ගුණවර්ධන හා සංඛපාලි ගුණවර්ධනයි.
අමාත්‍යවරයකු වූ ඉන්දික ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක ධුරය මෙන්ම දෙවරක් නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ ගීතාංජන ගුණවර්ධන, කොළඹ පුරපති වූ ප්‍රසන්න ගුණවර්ධන, ලේඛිකා ලක්මාලි ගුණවර්ධන ඔහුගේ සහෝදර සහෝදරියන්ය.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, 1977 පාර්ලිමේන්තු මැතිවරණයේ දී අවිස්සාවේල්ලේ අපේක්ෂකයා වූ නමුත්, තේරී පත්වීමට අසමත් විය. එහෙත් 1983 අතුරු මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණේ මහරගම අපේක්ෂකයා වූ ඔහු එම මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබමින් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය.
එතැන් පටන් විටින් විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, 1994 දි පැවති මහමැතිවරණයෙන් ජය ගැනීමට අපොහොසත්ව නැවතත් 2000 වසරේ සිට පැවති මැතිවරණයෙන් කොළඹ දිත්‍රික්කයෙන් ජයගෙන ආණ්ඩු රැසක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර රැසක් හොඹවන ලදි.
දැරූ අමාත්‍ය ධුර
- ප්‍රවාහන අමාත්‍ය (2000 ඔක්. - 2001 සැප්තැම්බර් දක්වා)
- ප්‍රවාහන හා පරිසර අමාත්‍ය (2001 සැප්තැම්බර්.-2001 දෙසැම්බර් දක්වා.)
- නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය (2004 අප්‍රේල් -2007 ජනවාරි දක්වා.)
- උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ( 2004 අප්‍රේල් - 2005 නොවැම්බර් දක්වා.)
- නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය (2007 ජනවාරි සිට 2010 අප්‍රේල් දක්වා )
- නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මෙන්ම ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය (2010 අප්‍රේල් -2015 ජනවාරි දක්වා.)
- මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය (2018 නොවැ.- 2018 දෙසැම්බර් දක්වා.)
- විදේශ කටයුතු මෙන්ම හා කුසලතා සංවර්ධන සහ රැකියා හා කම්කරු අමාත්‍ය (2019 නොවැම්බර් සිට 2020 මාර්තු)
- විදේශ අමාත්‍ය ( 2020 අගෝස්තු-2021 අගෝස්තු දක්වා)
- අධ්‍යාපන අමාත්‍ය (2021 අගෝස්තු -2022 අප්‍රේල් දක්වා)
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය (2022 අප්‍රේල් සිට මේ දක්වා)
- පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාය•(2008 ජූනි -2010 පෙබ.)•(2010 මාර්තු -2010 අප්‍රේල්)•(2010 මැයි -2015 ජන.)
- පාර්ලිමේන්තුවේ සභානායක •(2018 ඔක්තෝම්බර් -2018 දෙසැම්බර්),•(2020 ජනවාරි-2020 අගෝස්තු),•(2020 අගෝස්තු සිට මේ දක්වා) සභාපති ධුර දරා ඇත.
- මැතිවරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා තුනක සභාපති ධුරය. (2003 - 2004), (2006 - 2007), (2021- 2022).