ශ්‍රී ලංකාව: ජනපති අසුන සඳහා වන තරගය සුළු මොහොතකින්

Published

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටේ ආර්ථික අර්බුදය නිසාවෙන් පැවැත්වූ මහජන විරෝධතා මධ්‍යයේ රටින් පළාගොස් ඉල්ලා අස්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව ජනාධිපතිවරයෙකු සඳහා අද ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ය.

එම භූමිකාව සඳහා ආණ්ඩු පක්ෂය විසින් නම්කෙරුණු වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මෙම තරගයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස සැලකේ.

එහෙත් විරෝධතාකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ වික්‍රමසිංහ ද ඉල්ලා අස්වනු දැකීම යි.

ප්‍රධාන විපක්ෂයේ සහාය ඇති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු වන ඩලස් අලහප්පෙරුමගෙන් වික්‍රමසිංහට බරපතල අභියෝගයක් එල්ලවේ.

පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන්නේ කවුරුන් වුව ද, 2024 නොවැම්බරයෙන් අවසන් වන ගෝඨාභයගේ ඉතිරි ධුරකාලයේ දී සේවය කිරීමේ වගකීම ඔහුට හිමිවනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වන අතර ආහාර, ඉන්ධන සහ අනෙකුත් මූලික සැපයුම්වල උග්‍ර හිඟයකට මුහුණදී සිටියි.

රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග නව සාකච්ඡා ඇරඹීමට නම් ස්ථාවර රජයක් රටට අවශ්‍ය ය.

අද (ජුලි 20) ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. මනාපවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ලබන අපේක්ෂකයා මෙම තරගය ජයගනියි.

එය වික්‍රමසිංහ, අලහපෙරුම, සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර තුන්කොන් තරගයකි.

අද උදෑසන 10ට පාර්ලිමේන්තුවේ දී මෙම ඡන්දය ඇරඹීමට නියමිත ය.