ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක සාමය වෙනුවෙන් ශිරන්ති රාජපක්ෂ දුන් පනිවිඩය
ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසක් බවත් ඊළඟ පරම්පරාවේ නායකයින් වර්ධනය කිරීමත්, කාන්තා නායකත්වයන් අත්හදා බැලීම සහ නිසි බලගැන්වීමත් ලෝක සාමය සඳහා අගයක් එක් කර තිබෙන බවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ කොරියානු අර්ධද්වීපයේ සාමය සඳහා වූ 2022ලෝක සාම සමුළුව අමතමින් ප්‍රකාශ කළාය.
"ආගම් සහ සංස්කෘතික භූමිකාව ප්‍රතිසංවිධානය කිරීම සහ ඊළඟ පරම්පරාවේ නායකයින් වර්ධනය කිරීමත්, කාන්තා නායකත්වයන් අත්හදා බැලීම සහ නිසි බලගැන්වීමත් ලෝක සාමය සඳහා අගයක් එක් කර තිබේ.
විශ්ව සාම සම්මේලනයේ (UPF) ආරාධනාවකට අනුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ''ලෝක සාම සමුළුව 2022'' ට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආර්යාව මේ බව කියා සිටියාය.
දින තුනක් පුරා පැවැත්වෙන ලෝක සමුළුව පසුගිය 11 වැනිදා ආරම්භ වූ අතර ලෝකයේ රටවල් 150කට වැඩි සංඛ්‍යාවක සාමය සඳහා කැපවන ආගමික නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, සාම ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයෝ රැසක් ඒ සඳහා එක්ව සිටිති. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පසුගිය 12 වැනිදා මෙම සමුළුව ඇමතීය.
අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මෙම සමුළුව අමතමින් පවසා සිටියේ ලෝක සාමය බොහෝ අවදානමකට ලක්ව ඇති අවස්ථාවක සාමය පිළිබඳ අදහස් බෙදා ගැනීමට ඇයට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වන බවයි.
විශ්ව සාම සම්මේලනය වැනි සංවිධාන ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන සියලු අභියෝගවලට එරෙහිව සටන් කරමින් අනාගතය සඳහා බලාපොරොත්තුවන සම්පූර්ණ සාමය උදාකරගත හැකි බව තමා තරයේ විශ්වාස කරන බවද ඇය පවසා සිටියාය.
විශ්ව සාම සම්මේලනය (UPF) යනු සැමට නිදහසේ ජීවත් විය හැකි සාමකාමී ලෝකයක් ගොඩනැගීමට කැප වූ පුද්ගලයන්ගේ සහ සංවිධානවල ගෝලීය ජාලයකි.
"ඉවසීම තුළ ඇතිවන සහයෝගීතාවය ආචාර ධර්ම පද්ධතියක ප්‍රගතිය සඳහා ඉවහල්වන අතර එය සෞභාග්‍යය උදාකරයි," යනුවෙන් ඇය පැවසුවාය.
"විවිධ ආගම්වලට අයත් මිනිසුන් අතර වෙනස්කම් ඇති නොවීම තුළ අවංක යුක්තිය මෙන්ම විශ්වීය සාමය සඳහා පිළිගත හැකි ප්‍රවේශයක් ගොඩනැගෙයි. ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසකි. එහිදී ජාතීන් සාමයෙන් සහ සමගියෙන් එකිනෙකා සමඟ කටයුතු කිරීමට උත්සාහ කරයි. "
ශිරන්ති රාජපක්ෂ අවධාණය කළේ, විශ්ව සාම සම්මේලනය මේ දක්වා කොරියානු අර්ධද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීමට විවිධ ආකාරවලින් සැලකිය යුතු උත්සාහයක් ගෙන ඇති බවයි.
"ආගම් සහ සංස්කෘතික භූමිකාව ප්‍රතිසංවිධානය කිරීම සහ ඊළඟ පරම්පරාවේ නායකයින් වර්ධනය කිරීමත්, කාන්තා නායකත්වයන් අත්හදා බැලීම සහ නිසි බලගැන්වීමත් ලෝක සාමය සඳහා අගයක් එක් කර තිබේ. ලෝක සාමය යනු තවත් ආකාරයකින් ප්‍රකාශිත සතුට පිළිබඳ සංකල්පය සහ අදහසයි. සියලු ජාතීන් සහ ආගම් අතර නිදහස සාමය උදා කිරීමටත් ගැටුම් සහ යුද්ධ අවම කිරීමටත් දායක වී තිබේ. ලෝක සාමයේ පැවැත්ම රටවල් සහ ජාතීන් අතර අභ්‍යන්තර ගැටුම් ද අවම කරනවා."
ආර්ථික වර්ධනය සහ මානව වර්ධනය වෙනුවෙන් අප ගන්නා සාම මාවත ගෝලීය සාමය ගොඩනැගීම මෙන්ම සමාජ සමෘද්ධිය උදෙසා පැහැදිලිවම දායක වී තිබෙන බවත් ඇය පැවසුවාය.
සාමය සහ සංහිඳියාව නොපවතියි නම් හෝ නිසි ලෙස ස්ථාපිත නොවූයේ නම් ආර්ථික ස්ථාවරත්වය සහ සංස්කෘතික වර්ධනය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇති බව තමාගේ විශ්වාසය යැයිද ශිරන්ති රාජපක්ෂ සමුළුව අමතමින් අවධාරණය කළාය.
"තවද, සාමය ගොඩනැංවීම සඳහා භාවිතා කරන ක්‍රියාකාරකම් පිළිබඳ ඉතා සියුම්ව විග්‍රහ කර ගත යුතු අතර, කල්පවත්නා සාමය සඳහා වන මාර්ගය හොඳින් සැලසුම් කර පරිපූර්ණ ප්‍රවේශයකින් සැලසුම් කළ යුතු වේ. එක්ව ඉදිරියට යෑමේ කැමැත්ත අනුව සහෝදර සහෝදරියන් ලෙස කරට කර සිටිමින් අපට සාමය සඳහා අපගේ බලවේගය ඉදිරියට ගෙන යා හැකිය."
"කොරියානු අර්ධද්වීපයේ සාමය ඔවුන්ගේ දේශසීමාව තුළ සහ ඉන් පිටත සිටින සෑම දෙනාගේම ජීවිතය වෙනස් කරන එකක් බව මම නැවත වරක් සිහිපත් කිරීමට කැමැත්තෙමි. මෙම ලෝක සමුළුව 2022 තුළින් අපට එක්ව නිවැරදි සාමකාමී අනාගතයකට නැවුම් ලෙස ඉදිරියට යාමේ ප්‍රවේශය තවත් තීව්‍ර කර ගත හැකිය."
ඔබ සැම ඔබගේ කුසලතා මනුෂ්‍යත්වය සහ එහි අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරනු ඇතැයි විශ්වාස කරමි යැයි අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ ප්‍රකාශ කළාය.
හිටපු ජනපති මෛත්‍රීත් ලෝක සාම සමුළුව අමතයි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙබරවාරි 12 වැනිදා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී ලෝක සාම සමුළුව අමතනු ලැබීය.
ශ්‍රී ලංකාවද උදාහරණයට ගනිමින්, සිය දේශනය පැවැත්වූ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ ඕනෑම ගැටුම් තත්ත්වයකට පිළියම යුද්ධය නොවිය යුතු බවයි.
ඔහු පවසා සිටියේ එක්සත් වූ රාජ්‍යයන් ජය ලබා ඇති බවයි.
"එක්සත්වුණු රාජ්‍ය ජය ලබා තියෙනවා. වෙන්කළ තාප්පය බිඳදමා, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගු ජර්මන් අත්දැකීම මීට අගනා උදාහරණයක්. නව දේශපාලනික ආයතනික සැකැස්මක් හා දැන් දිදුලන ආර්ථිකයක්වන වියට්නාමය තවත් තත්ත්වයක් ප්‍රදර්ශනය කරනවා. මේ රටවල් දෙක එක්සත්වීම ලබාගත්තේ දෙවිධියකටයි."
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දිගුකාලීනව පරම්පරා ගණනක් තිස්සේ අපගේ වාර්ගික ජන කොට්ඨාස එක්සත්ව සිටි බවයි.
ඉඳහිට සබඳතා බිඳුණු අවස්ථා වුවද පූර්ණ වෙන්වීම්ක් සිදුනොවී, සංස්කෘතිය, ආගම, සම්ප්‍රදායන් හා ඇදහීම් පාදකව ඔවුන් මිත්‍රයින් ලෙස සිටි බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
යුද්ධය තිත්තයි
හිටපු ජනාධිපතිවරයා තවදුරත් පවසා සිටියේ "කෙසේවුවත්, දේශීය හේතු හා සමහරවිට බෙදා වෙන්කොට පාලනයට ඇවිලවූ විදේශීය බලපෑම් නිසා, වෛරය, ඊර්ෂ්‍යාව, සතුරුකම වර්ධනයවී, එක්සත්බව අඩුවී, අනතුරට පත්වුනා. මෙය දේශපාලන ගැටුම් බවට පත්වී, පසුව ප්‍රචණ්ඩත්වය වීදි, නගර, ගම් හා කැලෑවල රාජ්‍ය වීරෝධී සටන් බවට පෙරලුනා. එක් වාර්ගික ත්‍රස්තවාදී කණ්ඩායමකින් ඉල්ලීමක් වුයේ වර්ග කිලෝමීටර 65,000ක අප කුඩා දිවයිනෙන් වෙනම රාජ්‍යයක් වෙන්කර ගැනීමටයි. අවස්තා කිහිපයකදී අප රජයන් මෙම ගැටලුව නිරාකරණයට පියවර ගත් අතර වරක් නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයකට 2002 දී පැමිණියද, අවසානයේදී සියල්ල ව්‍යවර්ත වුනා. ඒවා, සාමය උදාකිරීමේදී හා එක්සත්වීමෙදී අසමත්වීම් පිළිබඳව අපට බෙදාහදා ගත හැකි තවත් පාඩමක්."
"කොරියානු පරිසරයේදීද මෙවන් අසමත්වීම් නිරීක්ෂණය වෙනවා." ඔහු පවසා සිටියේය.
"ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් ඒ හා සමාන ක්‍රියාවන්හි නියැලීමෙන් අවසානයේදී අප සාමය සඳහා ගත් ක්‍රියාදාමයන් අසාර්ථක වුනා. සාමය උදාකිරීම වෙනුවට අපි යුද මාර්ගයට පිවිසුනා. එය අපෙන් උගත යුතු යහ පාඩමක් නොවන්නේ යුද්ධය මිනිසාට අතිශයින්ම තිත්තම දෙයක් නිසයි."
"ඕනෑම ගැටුම් තත්ත්වයකට පිළියම යුද්ධය නොවිය යුතුයි. එවන් අවස්තාවලදී අපට අවශ්‍ය වන්නේ පාර්ශව අතර විශ්වාසනීයත්වය ගොඩනැගීම හා ආර්ථිකයන් නැවත ගොඩනැගීමයි. ඒ නිසා පිලිගත් "සංහිදියා කුලූණු හතර" ක්‍රියාවන් මත පිහිටා අපි සංහිදියාවට පියවර තැබුවා." මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා සිටියේය.
"අපේ ගැටුම වසර 25 ක් ඉක්මවනවා. කොරියාවේ ගැටුම අවුරුදු 70 පමණ වෙනවා. සිදුවූ කැළැල් ගැඹුරු නිසාත්, ඒ නිසාම දැඩි ස්ථාවරයන් දැරීම නිසාත්, තරගකාරී අවශ්‍යතා සමග කර්කශ අතීතය ඉක්මනින් සමනයවන්නේ නැහැ. පාර්ශවයන්ගේ මමත්වය එළඹුණු තත්ත්වය පාලනය කරනවා. ඒ නිසා ඉවසීම අත්‍යවශ්‍යයි. ඒ නිසා, මෙහිදීත්, පියවරෙන් පියවර තබමින් ඉදිරියට යාම වඩා උචිත වේවි. අපට අවශ්‍ය වන්නේ අඩියෙන් අඩිය පිටිපසට තබන පියවර නොවේ. ඒ වෙනුවට, නොකඩවා සැමවිටම ඉදිරියට තබන පියවරක්." හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ලෝක සාම සමුළුව අමතමින් ඔහු පවසා සිටියේ, අපට මුහුණ පාන්නට වූ ආර්ථික බලපෑම දරුණුවූ අතර අපි තාමත් පාර්ශවීය හැසිරීමට වන්දි ගෙවනවා. මේ ශ්‍රී ලංකාවේ අප පමණක් උගත් පාඩමක්ද නොවෙයි. කෙසේවුවද, රජයන්, ද්විපාර්ශවීය හා බහුපාර්ශවීයව ගැටෙන කණ්ඩායම්, හමුදා, රටවල් ඒකාග්‍රකිරීමට, එක්සත් කිරීමට, සාමකාමී කිරීමට පිළියම් සොයා ගත යුතුවෙනවා. ඒ, යුද්ධ, ගැටුම්වල ජයග්‍රාකයින් නැති නිසා. ඒවාට කෙටිකාලීන හෝ ක්‍ෂණික විසඳුම්ද නැහැ. අපගේ ගැටුම විශිෂ්ට උදාහරණයක්."
ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් නැහැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ "අපගේ ගැටුම 2009 මැයි මාසයේදී අවසන් වුනා. අවුරුදු දොළහක් ගතව ඇතත් අදත් ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන නැති අතර අන්තර්ජාතිකව අපේක්ෂිත පරිදි සංහිදියා සම්මතයන් පරිපූර්ණ කර නැහැ" යනුවෙනි.
ඔහු අවධාරණය කළේ, "අපි යුද ලෝලීන් හා යුද අපරාධකරුවන් නොවී, සාමසාධකයන් වන බවටත්, උකහාගත් සාමයේ ප්‍රතිපල, ගෝලීය මානව සංහතියට යහ සිද්ධියක්ම වන හෙයින්, අවශ්‍ය ඕනෑම අන්දමකින් කැපකිරීම් කිරීමටත් දිවුරා පොරොන්දු විය යුතු" බවයි.