පින්නවල අලුත උපන් අලි පැටවුන්ට උත්සවශ්‍රීයෙන් නම් තැබේ

Published

අද (ජනවාරි 11) පින්නවල අලි අනාථාගාරයේ දී හස්ති නාම මංගල්‍යයක් පැවැත්වුණි.

මෙය ජාතික උත්සවයක් ලෙස සංවිධානය කර තිබුණේ, පින්නවල අලි අනාථාගාරයේ සිටින නිවුන් අලි පැටවුන්ට සහ එම පැටවුන් දෙදෙනාට මසකින් පමණ ළාබාල තවත් අලි පැටවෙකුට සාම්ප්‍රදායානුකූලව නම් තැබීම සඳහා යි.

ඉකුත් වසරේ අගොස්තු 31 වැනිදා, පින්නවල අලි අනාථාගාරයේ සෙවන ලබන පණ්ඩුලට දාව සුරංගි නමැති කෙනර නිවුන් පිරිමි අලි පැටවුන් බිහිකළා ය. මෙම පිරිමි අලි පැටවුන් දෙදෙනා මීට මකට පමණ ඉහත දී දෙස් විදෙස් සංචාරකයින්ගේ නැරඹීම සඳහා ඉදිරිපත් කෙරිණි.

නිවුන් අලි පැටවුන්ට මසකට පමණ බාල තවත් අලි පැටවෙකු පින්නවල දිවි ගෙවයි. 'රැජින' නමැති කෙනරට අයත් එම අලි පැටියාට ද අද නම් තැබේ.

මෙම අලිපැටවුන් පසුගිය 06 වැනිදා පළමුවරට මා ඔයට ආරක්ෂිතව රැගෙනගොස් දිය නෑමට යොමු කෙරුණි. ඒ, දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකාර්ෂණය මධ්‍යයේ ය.

නැම් තැබෙන්නේ කොහොමද?

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලි පැටවුන් උපන් වේලාව අනුව ජෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෙකු ලබා දුන් අක්ෂරවලට අනුව අලි පැටවුන්ට නම් තැබුණු බව යි. ඒ අනුව අද පෙරවරුවේ 9ට යෙදුණු සුබ මොහොතින් නම් තබනු ලැබුණි.

මෙහිදී නිවුන් අලි පැටවුන්ට 'දිසා', සහ 'සජ්ජන' යනුවෙන් ද, අනෙක් පැටවාට 'නීලමණී' යනුවෙන් ද නම් තබා ඇත.

හස්තීන්ගේ නම් සඳහන් සමරු ඵලක විවෘත කිරීම, මී පැණිවලින් එම හස්තීන්ගේ ඉඳුල් කටගෑම, සහ මව් ඇතින්නට පෝෂණීය කිරිබත් හා පලතුරු ලබාදීම යන චාරිත්‍ර ද අද සිදුකෙරිණ.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂර්මිලා රාජපක්ෂ පවසා සිටියේ, මෑත ඉතිහාසයේ මෙවැනි හස්ති නාම මංගල්‍යයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව යි.

මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් 76 දෙනෙකු වෙසෙන අතර, ඉන් තිදෙනෙකු පැටවුන් වේ.

ශ්‍රී ලංකා‍ අලියා

ශ්‍රී ලංකාවේ අලියා Elephas maximus maximus ලෙස විද්‍යාත්මකව නාමකරණය කර ඇති, ආසියානු අලියාගේ උප විශේෂයකි. ඔවුන් 1986 සිට අන්තරායට ලක්වූ උප විශේෂයක් ලෙස IUCN රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

පසුගිය වසර ගණනාවක් තුළ ඔවුන්ගේ ගහණය 50%කින් පමණ අඩු වී ඇත.

ශ්‍රී ලංකාවේ අලියාට වසර 60ත් 75ත් අතර ආයුකාලයක් පවතියි. වාසස්ථාන අහිමිවීම, පිරිහීම හා ඛණ්ඩනයවීම මෙම විශේෂයට මූලික වශයෙන් එල්ලවී ඇති තර්ජනයන් ය.

2011 වර්ෂයේ දී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ වන අලි සංගණනයට අනුව මෙරට වන අලි ගහනය 5,879ක් බවටත් ප්‍රකාශ වූ අතර, එයින් 55.9%ක් වැඩිහිටි සතුන් ද, 25.3% තරුණ අවධියේ සතුන් බවට ද හඳුනාගෙන තිබිණි. 12.4%ක් පැටවුන් ලෙසට ද, 6.4%ක් ළදරු අවධියේ සිටින කුඩාම පැටවුන් ලෙසට ද හඳුනාගෙන තිබුණි.

කාල් ලිනෙයස් විසින් 1758 දී Elephas maximus ලෙස ප්‍රථම නාමකරණය සිදුකර ඇත්තේ ද ශ්‍රී ලංකාවේ අලියා පාදකකොට ගෙන බව කියැවේ.

ශ්‍රි ලංකා‍ අලියා, ආසියානු අලින්ගේ විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිශේෂයන් දෙකටම වඩා කුඩා ය. ඉතිහාස දත්තයන් හා 19 වන සියවෙසහි ගන්නා ලද ඡායාරූප හා සස‍ඳනකල, මෙකල ජාතික වනෝද්‍යයානවල සිටින අලින් එකල අලින්ට වඩා කුඩා ය.

මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුළ සිදුකළ අලි දඩයම් හා හීලෑ කිරීම් බව කියනු ලැබේ.

මේ වන විට අලි ගහණය ජාතික වනෝද්‍යයානවලට හා අභය භූමිවලට සිමා වී ඇත. උඩවලව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානය අලින් නැරඹීමට අගනා ස්ථානයන් ය.

අලි මිනිස් ගැටුම

වාර්ෂිකව අලින් 250ක් පමණ ද, මිනිසුන් 50ක් පමණ ද අලි මිනිස් ගැටුම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධ විශේෂ විගණන වාර්තාව හෙළි කරයි.

මෙම ගැටලුවට එක් විසඳුමක් ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අලි සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුමත කර තිබුණ ද, එම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව විගණන වාර්තාව කියයි.

වාර්ෂිකව විශාල වශයෙන් සිදුවන දේපල හා වගා හානියට හේතුව ද එම ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබීම බවත්, මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන අතර සම්බන්ධීකරණය දුර්වලතා පැවතීමත්, අලින් මිනිස් වාසස්ථානවලට පිවිසීම වැළැක්වීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන අලි වැට ඉදිකිරීම හා නඩත්තු කිරීම ප්‍රශස්තව සිදු නොවීමත් ඇතුළු තවත් ගැටලු හේතුවෙන්, මේ දක්වා ගැටලුවට සැලකිය යුතු විසඳුමක් ලැබී ඇතැ යි සාක්ෂ්‍ය නොතිබුණු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

වන අලි ගම්වැදීම වැලැක්වීම සඳහා අගල් කැපීම ඇරඹී තිබුණ ද, පරිසරවේදීන් සහ විද්වතුන් බොහොමයක් දෙනා පෙන්වා දෙන්නේ එම කටයුත්ත නියමාකාරයෙන් සිදු නොවන බව යි. අලි අගලක් කැපීමේ දී, අගලට වැටෙන අලියෙකුට වුව ද නැවතත් පිටතට ගොඩවී වනයට යෑමට හැකිවන ලෙස ඒ දෙසට බෑවුමක් කැපිය යුතු වුණත්, මෙම අගල් ගැඹුරු කාණු වශයෙන් කපා, අලින්ට මර උගුල් අටවා ඇතැ යි විද්වත්තු චෝදනා කරති.