ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයෝ අද ලෙඩ වෙන්නේ ඇයි?
රාජ්‍ය සේවය බරක් යැයි මුදල් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම හා රුපියල් 10,000 වැටුප් වැඩිවීමක් ඉල්ලමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක වෘත්තීය සමිති අද (දෙසැම්බර් 08) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
මෙම පියවර ගෙන ඇත්තේ ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස විදුලිබල, තෙල්, සෞඛ්‍ය හා කළමනාකරණ සේවා ඇතුළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මෙම විරෝධතාවයට එක් වී සිටිති.
ජාතික වෘත්තීය සමිත මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පැවසුවේ, "ආණ්ඩුවම ගනන් හදලා කියනවා 2019 දෙසැම්බර් වෙනකොට 04 දෙනෙකුගෙන් යුත් පවුලක ට මාසයක් ජීවත්වෙන්න රුපියල් 54,999 ක් යනවා කියලා . ඒ ආණ්ඩුවම ගනන් හදලා කියනවා 2020 දෙසැම්බර් වන විට මේ මුදල 65,000ට වැඩි වෙලා කියලා. 2020 දෙසැම්බර් ඉදලා 2021 දෙසැම්බර් වෙන විට මේක තවත් රුපියල් 10,000කින් වැඩි වෙලා තියෙන්නේ. අපි මේ ඉල්ලන්නේ වැඩිවෙච්ච එකට සාපෙක්ෂව අවම තරමේ මේ රටේ මිනිස්සුන්ට තුන් වේල කාල දරු මල්ලො එක්ක ඉන්න මේ පඩිය දීපල්ලා. සියලු දෙනාගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරන්න." ලෙසයි.
වෘත්තීය සමිති ඉල්ලීම් අතරට ඇතුළත් අනෙක් ඉල්ලීම්
• ලක්ෂ 06 ක් වන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩි කිරීම
• අවුරුදු 65 යෝජනාව ඉල්ලා අස්කර ගැනීම
• රාජ්‍ය සේවය බරක් යැයි මුදල් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම
• භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීමද වෘත්තීය සමිති ඉල්ලීම් අතරට ඇතුළත්.
කොළඹ උද්ඝෝෂණ
මේ අතර විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් ද අද (දෙසැම්බර් 08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතාවක් පවත්වන බව බව විදුලි වෘත්තිය සමිති කියයි.
"විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයෝ බලාගාර, කාර්යාල, වැඩබිම්වලින් එළියට බැහැලා 11 වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය වෙත පැමිණෙනවා. අනතුරුව අපි දවල් 12ට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී. අනතුරුව තෙල් වරාය ඒකාබද්ධ සන්ධානය විදිය ට ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, වරාය ඒකාබද්ධ සන්ධානය විදියට අපි සන්දේශ තුනක් අරගෙන ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා," යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසිය.
සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් 4ක් පිළිබඳව රජයට දැනුම් දුන් නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
අයවැයට පෙර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රජයට ප්‍රමාණවත් කාලයක් තිබෙන බව පැවසූ ඔහු ඊට විසඳුමක් ලබා නොදුනහොත් සමස්ත රාජ්‍ය අංශයම අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද අවධාරණය කරයි.
කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජික ධම්මික මුණසිංහ පැවසුවේ රජය මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇත්තේ තම හිතවතුන්ට අනුග්‍රහය දක්වමින් ඔවුන්ට සහන ලබාදීම නිසා බවයි.
රාජ්‍ය සේවකයින් මෙම ක්‍රියාමාර්ගවලට විරුද්ධ නිසා රාජ්‍ය සේවය බරක් වී ඇති බවට මතයක් නිර්මාණය වෙමින් පවතින බව ඔහු පැවසීය.
මේ අතර, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය කියා සිටියේ, තමන්ද අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි.