ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිවයින පුරා ඇදහැලුණු තද වැස්ස නිසා නායයෑමේ අනතුරක්
අධික වර්ෂාව සමග ප්‍රධාන වැව් බොහෝමයක් මේවන විට වාන් දමමින් ඇත. වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ රාජංගනය, අංගමුව, දැදුරුඔය, මහවිලච්චිය, ඒරුවැව මේ වන විට වාන් දමමින් ඇති බවයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට දිස්ත්‍රික්ක 08 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක් සඳහා නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.බුලත්සිංහල - මෝල්කාව ප්‍රධාන මාර්ගයේ පරගොඩ ප්‍රදේශය ගංවතුරෙන් යටවී ඇති අතර ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ කුඩා ගඟ පිටාර ගැලීමෙන් මෙම ගංවතුර තත්ත්වය ඇති වී තිබෙන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්තානය පවසයි. ගමනාගමනයට ද ඉන් බාධා සිදුව ඇට්රා අතර ප්‍රදේශවාසීන් පවසන්නේ අද (නොවැම්බර් 02) දිනයේත් තද වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වය මීට වඩා ඉහළ යා හැකි බවයි.
දිවයිනට බලපෑ තද වැසි සහිත කාලගුණයෙන් පවුල් 1,344කට අයත් පුද්ගලයින් 5,373ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
ඒ අතුරින් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්කවලට වන අතර, බදුළුඔය පිටාර ගැලීමෙන් වැඩිම හානියක් සිදුවී ඇති බවට එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
වර්ෂාව නිසා ඇතිවූ විවිධ ආපදා හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත. නිවාස 3කට පූර්ණ හානි හා නිවාස 352කට අර්ධ හානි සිදුව ඇතැ යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පවුල් 15කට අයත් පුද්ගලයින් 55ක් රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම කාලගුණ තත්ත්වයට හේතු වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වූ අඩුපීඩන කලාපය බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ අනාවැකිය
අඩුපීඩන කලාපය තවදුරටත් දිවයින ආශ්‍රිතව ස්ථානගතව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර ,සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වනු ඇති බවට එම දෙපාර්තමේන්තුව පවසයි.ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම
බදුල්ල දිස්ත්‍රික්කයේ - පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කළේ, ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.
පවතින අධික වර්ෂාවත් සමග දැදුරුඔය, රාජංගනය, අංගමුව, සහ මරතමඩු ජලාශ වාන් දමමින් ඇත. වව්නියාව දිස්ත්‍රික්කයේ ජලාශවල ජල මට්ටම ද සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගොවීන්ට දැනුම්දීමක්
මේ අතරේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දී සිටින්නේ පවතින වර්ෂාව උපයෝගී කරගනිමින් මහ කන්නයේ වගාව සඳහා බිම් සකස් කර ගන්නා ලෙසයි. එමඟින් අපතේ යන ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගත හැකි බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
වැසි ජලය අපතේ යාමට හැරීමෙන් ඉදිරියේ දී ජලාශවල ජලය වගා කටයුතු සඳහා මුදා හැරීමට සිදුවන බවත්, ඉන් යල කන්නයේ වගාවට බලපෑමක් විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.