ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් තත්ත්වය දැනගමු

Published

වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ සියලු රෝහල්වල ඇඳන් ධාරිතාව 85 % ඉක්මවා පිරී ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාව 90 % ඉක්මවා ගොස් තිබේ.

බොහෝ ප්‍රදේශවල PCR පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය 20% ඉක්මවා තිබේ.

ජුලි 31 වැනිදා වන විට පරීක්ෂණයට ලක්කරන ලද සාම්පලවලින් 60 %ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 54%ක් එක් එන්නත් මාත්‍රාවක් ලබා ගෙන ඇති අතර, 15%ක් මාත්‍රා දෙකම ලබාගෙන ඇත.

"අපෙන් දවසකට තුන් හතර දෙනෙක් රෝහල් ඇඳන් ගැන අහනවා. ඇඳක් සොයාගන්නවා කියන්නේ දැන් කරන්නම බැරි වැඩක්," කොළඹ ජාතික රෝහලේ රැකියාවේ නිරත වෛද්‍යවරියක බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ වන විට ආසාදිතයන් 362,000කට ආසන්න ගණනක් වාර්තා වී අතර මරණ 6,260 ඉක්මවා තිබේ.

විශේෂඥ උපදෙස්

මේ ආකාරයනේ සංචරණ ක්‍රියා පැවැතිය හොත් ලබන මාසය වන විට ශ්‍රී ලංකාවේ දිනකට කොරෝනා ආසාදිතයින් 6,000 ඉක්මවා වාර්තා විය හැකි බව ස්වාධීන සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් පුරෝකථනය කර තිබේ.

පවතින තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම ස්වාධීන විශේෂඥයින් කණ්ඩායම නිර්දේශ කීපයක් ඉදිරිපත් කර තිබේ:

  • අත්‍යවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික්ක අතර ද ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා පැනවීම සහ කෙටි කාලසීමාවන්වල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම.
  • සති තුනක කාලයක් සඳහා සියලුම මහජන උත්සව සීමා කිරිම හෝ අවලංගු කිරීම.
  • අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඩපණවීමකින් තොරව රෝහල් කටයුතු පවත්වාගෙන යාමට සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් සැපයීම.
  • කාර්යක්ෂම සංනිවේදන සැලැස්මක් සංවර්ධනය කිරීම.
  • සැබෑ තත්ත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මරණ පිළිබඳ හා ආසාදිතයින් පිළිබඳව නිවැරදිව වාර්තා කිරිම.
  • එන්නත්කරණයේ දී වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදීම හා ඔවුන්ට ෆයිසර්, මොඩානා හෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීම සුදුසු බවට ස්වාධීන විශේෂඥයින්ගේ නිර්දේශයයි.

කෙසේනමුත්, පසුගිය අගෝස්තු 17 සිට මංගල උත්සව පැවැත්වීම තහනම් කර තිබේ. පිරිස් ඒකරාශි වන කිසිදු අවස්ථාවකට ද අවසර හිමිනොවන අතර, එමෙන්ම අවන්හල්වල වරකට රැස්විය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් සියයට පනහකට නොවැඩි පිරිසකට පමණි.

ස්වාධීන විශේෂඥයින් කණ්ඩායමකට අනුව ඔක්තෝබර් මුල වන විට දෛනිකව වාර්තාවිය හැකි මරණ සංඛ්‍යාව 220 ක් පමණ වනු ඇති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කැඳවන ලද එම විශේෂඥ කමිටු සාකච්ඡාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිත, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු, මහජන සෞඛ්‍ය විශේෂඥ වින්යා ආරියරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ඇතුළු ජාතික මට්ටමේ විශේෂඥයින් 16 දෙනෙකු සහභාගිවී තිබිණි.

මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය නිලිකා මලවිගේ, මහාචාර්ය කාමනි මෙණ්ඩිස් මහාචාර්ය මනූජ් වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන අය ද එම සාකච්ඡාවට එක්ව තිබේ.

'එන්නත ගන්න'

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් ලක්ෂ 3 කට අධික පිරිසක් එකදු හෝ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය හමුවක දී පැවසීය.

වාර්තා වන කොවිඩ් මරණවලින් වැඩි පිරිසක් කිසිදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබානොගත් වැඩිහිටියන් බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

'උපදෙස් පිළිපදින්න'

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථානවලදී පුද්ගලයින් 2,411ක් සහ ඔවුන් පැමිණි වාහන 1,020 පරික්ෂාවට ලක්කර ඇත.

ඒ අතුරින් පුද්ගලයින් 479 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 361 සමග ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 54,612 පමණ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ තොරතුරු ද කියවන්න:

ගර්භණී මව්වරු හැකි ඉක්මණින් එන්නත ගන්න

කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති නම් ගර්භණී මවුවරු වෛරසයෙන් අනාරක්ෂිත බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැවසීය.

මෙතෙක් එන්නත ලබාගෙන නොමැති ගැබිණි මවුවරුන් හැකි ඉක්මණින් එන්නත ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් - 19 පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් පැවසීය.

කොවිඩ් රෝගය ගර්භණී මවුවරුන්ට වැළඳුනහොත් සංකූලතා දරුණු විය හැකි අතර, එම සංකූලතා මවට පමණක් නොව කුස තුළ සිටින දරුවාටද බලපෑම් එල්ල කළ හැකිය.

දරුවා නියමිත දිනට පෙර බිහිවීමේ අවදානමක් සේම, එසේ බිහිවන දරුවන් හට මොළයේ වර්ධනය අඩුකම, පෙනහළුවල වර්ධනයේ අඩුකම ආදී සංකූලතා ඇතිවිය හැකි බවද ඔහු සදහන් කළේය. එමෙන්ම, මවට වෛරසය බෝ වුවහොත් මවුකුස තුළ දරුවා මියයාමේ අවදානමක් ද ඇත.

කොවිඩ් ආසාදිත මවකට කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඇතිවීමට ඇති අවධානම වැඩි අතර දැඩිසත්කාර අවශ්‍ය වීමට මෙන්ම මාතෘ මරණ සිදුවීමේ අවදානමක් ද කොවිඩ් ආසාදනයත් සමඟ ගර්භණී මවකට ඇතිවිය හැකි බව වෛද්‍යවරයා පැවසුවේය.

සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් නිවසට වී සිටීමෙන් පමණක් ගර්භණී මවකට නිසි ආරක්ෂාවක් නොලැබෙන අතර, නිවැසියන්ද ආරක්ෂිතව කටයුතු කිරීම වැදගත් බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ගර්භණී මවුවරු 30,000ක් පමණ සයිනොෆාම් එන්නත ලබාගෙන ඇති අතර, එම එන්නත් ආරක්ෂිත බවට ප්‍රමාණවත් සාධක මේ වන විට ලොවපුරා සිදු කරන ලද පරීක්ෂණ වලින් ලැබී ඇතැයිද ඔහු පැවසුවේය.

මේ දක්වා සිදු කරන ලද පරීක්ෂණවලට අනුව ස්පුට්නික් වී එන්නත හැර ශ්‍රී ලංකාවේ දැනටලබාදෙන අනෙකුත් එන්නත් 03 සඳහා උපදේශන කමිටුවේ අනුමැතිය ලබා දී තිබේ.

එමෙන්ම, ගර්භණී කාලයේ මුල් සති 12 එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටිය යුතු නොමැති අතර, ගර්භණී සමයේ ඕනෑම අවස්ථාවක එන්නතක් ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගැබිණි මවුවරුන්ට ලබා ගත හැකි එන්නත් වර්ග:

  • සයිනොෆාම්
  • ඇස්ට්‍රාසෙනෙකා
  • ෆයිසර්
  • මොඩානා

දිවයින පුරා මධ්‍යස්ථාන 224 කදී සඳුදා දින කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ගාල්ලේ වෛද්‍යවරු සහ රෝගීන්ට දුෂ්කරතා

හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය රෝහලේ රැපිඩ් ඇන්ටිජන් හා PCR පරික්ෂණ සඳහා සාම්පල ලබාගැනීම වෛද්‍යවරුන්ටම සිදුකිරිමට සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය අසංක ජයවික්‍රම පැවසීය.

හෙද හෙදියන් PCR හා ඇන්ටිජන් පරික්ෂණ සඳහා සාම්පල ලබාගැනීමේ කටයුතුවලින් ඉවත්විම නිසා දැනට මාස කීපයක සිට මෙම කටයුතු වෛද්‍යවරුන්ට කිරිමට සිදුව ඇත.

මෙම තත්ත්වය නිසා වෛද්‍යවරුන්ට අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදගත හැකි කාලය හා මානව සම්පත අපතේ යන අතර, දිනකට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ හා PCR පරික්ෂණ සාම්පල ලබාගැනීම වෛද්‍යවරුන් 10 දෙනෙකු පමණ යෙදවිය යුතු බවත් ඔහු පැවසීය.

"රැපිඩ් ඇන්ටිජන් හා PCR පරික්ෂණ සඳහා සාම්පල ලබාගැනීම හෙද හෙදියන්ගේ රාජකාරි ලැයිස්තුවට අයිති දෙයක්. නමුත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් නිසා හෙද හෙදින් මේ කටයුතු සිදු කරන්නේ නැහැ. දිනකට කරාපිටිය රෝහලේ ඇන්ටිජන් පරික්ෂණ 300 ක් සහ PCR පරික්ෂණ 75ක් පමණ සිදු කරනවා."

"රෝගින්ගෙන් රැපිඩ් ඇන්ටිජන් හා PCR පරික්ෂණ සාම්පල් ලබා ගැනීම ලේබල් කිරිම පවා වෛද්‍යවරුන්ට කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ තත්ත්වය නිසා රෝගි සත්කාරක සේවා සඳහා වෛද්‍යවරුන් යොදාගැනිමටත් අපහසු වි තිබෙනවා," යනුවෙන් වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

දැනට කරාපිටිය රෝහලේ වෛද්‍යවරු 08 දෙනෙකු පමණ කොවිඩ් ආසාදනය වී එක් වෛද්‍යවරයකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර කරාපිටිය රෝහලේ අලුතෙන් ඉදිකල ඇඳන් 100ක වාට්ටුව සඳහා ඉදි කිරිම් සමාගම තවමත් විදුලි සෝපානයක් සවි නොකිරිම නිසා අසාධ්‍ය රෝගින් එම වාට්ටුවට රැගෙන යාමට නොහැකි තත්ත්වයක් හටගෙන තිබේ.

මේ ගැන කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඒ පිළිබඳ අමාත්‍යංශය දැනුවත් කර ඇති බවත් කොන්ත්‍රාත්තුව බාරගත් සමාගම විදුලි සෝපානය සවි කිරිම දිගින් දිගටම ප්‍රමාද කිරිම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවය.

කෙන්යාවෙන් සිරින්ජර්

කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් (EPZ) ලිමිටඩ් වෙතින් ඇණවුම් කරන ලද සිරින්ජර මිලියන 02 ක මුල් තොගය ශ්‍රී ලංකාවට යැවීමට කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ක්‍රියා කර තිබේ.

රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම නිෂ්පාදනය කරන ලද මෙම මිලි ලීටර් 0.5 පිරිවිතරයන් සහිත ස්වයංක්‍රීයව නිෂ්ක්‍රිය වන (AD) සිරින්ජර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හා කොන්දේසිවලට අනුකූලව නිපදවූ සිරින්ජර ලෙස සැළකේ.

'අපි කිව්වා'

කොවිඩ් පැතිර යෑම පාලනය කිරීමට රට වැසිය යුතු බව අවසන් වරට පසුගිය බදාදා (අගෝස්තු 11) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මාධ්‍ය හමුවක දී පැවසුවාය.

වැසී යන නගර

කොවිඩ් දැඩි ලෙස පැතිර යාම හේතුවෙන් විවිධ නගර කිහිපයක කඩ සාප්පු එම නගරවල වෙළෙඳ සංගම් තීරණ අනුව වසා දමා තිබේ.

මෙලෙස කඩ සාප්පු වසා දමා ඇති නගර වන්නේ තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, ගම්පහ සහ මාතලේ යටවත්ත යේලක්කරයයි.

'ශක්ති'

ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් 'ශක්ති' නෞකාව චෙන්නායි බලා අගෝස්තු 17 අළුයම පිටත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.

ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වන එම නෞකාවට චෙන්නායිවලට ළඟාවීමට දින එකහාමාරක පමණ කාලයක් ගත වන අතර, ඔක්සිජන් පැටවීමෙන් පසුව නැවත පැමිණීමට ද දින එකහාමාරක් ගත වේ.

තවත් තොරතුරු: