කොවිඩ්: දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සිංහයකුට රෝගය වැළඳුනේ කෙසේද?

සිංහ දූපතේ විසූ '' තෝර් '' නමැති සිංහයාට මෙසේ කොවිඞ් ආසාදනය වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිංහ දූපතේ විසූ '' තෝර් '' නමැති සිංහයාට මෙසේ කොවිඞ් ආසාදනය වී ඇත.
Published

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇති අතර එම සත්ත්වයාට වෛරසය වැලදී ඇත්තේ කෙසේදැයි නිර්ණය කිරීමට පරීක්ෂණයක් ආරම්හ කර තිබේ.

මේ අතර සිංහ දූපත භාරව සිටි සත්ත්ව රැකවලුන් දෙදෙනකු සත්ත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති අතර දෙහිවල සත්ත්වෝද්‍යානයේ සියලුම සේවකයන්ගේ පීසීආර් පරීක්ෂණ කරන බව බලධාරීන් පැවසීය.

"ඒ අදාළ බලධාරීන් හා සාකච්ඡා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් වසංගත රෝග විද්‍යා අංශයත් ඒ සතාට බෝ වුණු ආකාරය පිළිබඳව, ඒ වගේම ඒ බෝ වීම හරහා සාමාන්‍යයෙන් එතන කාර්යමණ්ඩලයට හෝ ඒ හරහා රටේ යම් ප්‍රදේශයකට ඒ සත්ත්වෝද්‍යානයෙන් බැහැර ප්‍රදේශයකට මෙම රෝගය පැතිරීමට ඉඩකඩ තිබේද කියලා ඒ අවශ්‍ය කරන විමර්ශන කරලා අවශ්‍ය කටයුතු කෙරෙනවා," සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍යට පැවසීය.

"අපිට නිල වශයෙන් දැනුම් දීලා නෑ. අපි හැම වෙලේම නිල වාර්තා එනකම් ඉන්නේ නෑ. යම් කිසි තොරතුරක් ලැබුණු ගමන් එය ලැබුණු අවස්ථාවේම අදාළ අංශ සමග සාකච්ඡා කරලා ඒ තත්ත්වය තහවුරු කරගෙන ඒ අනුව කටයුතු කිරීම තමයි කරන්නේ." යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සිංහ දුපතේ තවත් තිදෙනෙක්

මෙසේ කොවිඩ් රෝගය වැළඳී සිටින්නේ සත්ත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ '' තෝර් '' නමැති අවුරුදු 11ක් පමණ වයසැති කේසර (පිරිමි) සිංහයාය. 2012 වසරේදී දකුණු කොරියාවේ සෝල් නගරයේ සත්ත්වෝද්‍යානයෙන් එම සිංහයාශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.

දෙහිවල සිංහයාට කොරෝනා වැළදීම සිදුව ඇත්තේ මිනිසෙකුගෙන් වෛරසය අසාදනය වීමෙන් බවට අනුමාන කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පශු සායනික වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙහිවල සිංහයාට කොවිඩ් වැළදීම සිදුව ඇත්තේ මිනිසෙකුගෙන් වෛරසය අසාදනය වීමෙන් බවට අනුමාන කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පශු සායනික වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

එම සිංහයා වෙසෙන දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිංහ දූපත තුළ 2012 වසරේදීම ජර්මනියේ ආර්ගන්බර්ග් සත්ත්වෝද්‍යානයේ සිට මෙරටට ගෙන එන ලද'' ෂීනා '' නමැති සිංහ ධේනුව සහ තවත් සිංහයින් දෙදෙනකු වෙසෙන අතර ඔවුන්ට කොරෝනා වෛරසය වැළදී ඇද්දැයි තවමත් තහවුරු වී නොමැත.

මේ අතර සත්ත්වෝද්‍යානයේ විසූ සීබ‍්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්ත්වයකු ද පසුගිය දා මරණයට පත් විය. ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති බව වාර්තා විය. සත්ත්වෝද්‍යාන බලධාරීන් පවසා තිබෙන්නේ හිපපොටේමස් ගේ මරණයට හේතුව ආහාර මාර්ගයේ ඇති වූ අසාත්මික තත්ත්වයක් වන අතර සීබ්‍රා පැටවාගේ මරණයට හේතුව ආහාර මාර්ගයේ අවහිර වීමකින් ඇති වූ ආසාදනයක් බවය.

''වෛරසය ඇතුළු වුණේ මිනිසෙකුගෙන් ''

සිංහයාට කොවිඩ් වැළදීම සිදුව ඇත්තේ මිනිසෙකුගෙන් වෛරසය අසාදනය වීමෙන් බවට අනුමාන කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පශු සායනික වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

''COVID 19 ඇති කරන වෛරස ප්‍රභේදවල රෝග ලක්ෂණ වැඩි දෙනෙකුට පෙන්නන්නේ නෑ. ඒ වගේ කෙනෙක්ගෙන් තමයි දෙහිවල සත්තු වත්තේ සිංහයාට හැදිලා ඇත්තේ කියලා සැකය තියෙන්නේ. සිංහයන්ට හැදුන අවස්ථා ලෝකයේ තවත් රටවල් දෙකක තියෙනවා. සිංහයෙක්ගෙන් හෝ වෙන සතෙකුගෙන් මිනිහෙකුට හැදුන බව මේ දක්වා ලෝකයේ කොහේවත් වාර්තා වෙලා නෑ''

''මේක අලුත් වෛරසයක් නිසා දැනුම ගොඩක් නෑ. නමුත් ඉතා අධි අවදානම් (Very high risk) සත්තු කවුද කියලා අපි දන්නවා. මිනිහා ඉන්නේ අධි අවදානම් කාණ්ඩයේ. බැබුන් සහ චිම්පන්සි ඒ කාණ්ඩයට ඇතුළත් කරලා තියෙනවා. යෝධ ඈන්ට් ඊටර්, බොට්ල් නෝස් ඩොල්ෆින් ඇතුළත් වෙන්නේ වැඩි අවදානම් (high risk) කාණ්ඩයට. එතකොට සිංහයා ඇතුළත් වෙන බළල් පවුලේ සාමාජිකයන් ඉන්නේ මැදි අවදානම් (Medium) කාණ්ඩය යටතේ,'' යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය.

මේ අතර ලෝකයේ විවිධ රටවලින් සත්ත්වයන්ට කොරෝනා වෛසරය ආසාදනය වීම වාර්තා වේ. කොවිඩ් 19 රෝගය මිනිසාගෙන් බළලුන්ට බෝවී ඇති බවට සැලකිය හැකි අවස්ථා දෙකක් ස්කොට් ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුනාගනු ලැබ ඇත.

පසුගිය දා කොරෝනාවෛරසය ආසාදනය වූ බළලුන් දෙදෙනෙකු පිළිබඳව පර්යේෂණ සිදු කළ ග්ලාස්ගොව් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කියා සිටියේ එම බළලුන් දෙදෙනාටම රෝගය වැළඳී ඇත්තේ එකී සුරතලුන්ගේ අයිතිකරුවන්ට කොවිඩ් 19 වැළඳීමෙන් අනතුරුව බවය.

එම බළලුන් දෙදෙනා වර්ග දෙකකට අයත් වන අතර නිවාස දෙකක ජීවත් වෙති.

කොරෝනාවෛරස වසංගතය ආරම්භ වූ සමයේ ද ගෘහාශ්‍රිත බළලුන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබුණු අවස්ථා කීපයක් මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණි. හොංකොං, බෙල්ජියම, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය ආදී රටවලින් ලැබුණු මෙම වාර්තා අනුමාන කර තිබුණේ මිනිස් ඇසුරින් මෙම බළලුන්ට කොවිඩ් 19 අසාදනය වන්නට ඇති බවය.

වන සතුන් තුළ කොරෝනා වෛරසය ආසාදනය පිළිබඳ සිද්ධින් කිහිපයක් ලොව පුරා වාර්තා වී ඇති අතර වනජීවීන් පුළුල් ලෙස අධීක්ෂණය කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ලොම් නිපදවීම සඳහා පවත්වාගෙන යන ගොවිපලවල්වල කොරෝනාවයිරසය පැතිරීම නිසා සතුන් දහස් ගණනක් මරණය පත්කර ඇත.

මෙයට පෙර ස්පාඤ්ඤයේ බාසිලෝනා සත්ත්ව උද්‍යානයේ සිංහයන් සිව්දෙනෙකුට කොරෝනාවෛරසය අසාදනය වී ඇති බවට වාර්තා විය. කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු ද වෛරසය අසාදනය වීම තුළ සත්ත්වෝද්‍යානය පැවසුවේ කාර්ය මණ්ඩලයේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ සාමාජිකයෙකු සමඟ සම්බන්ධ වීමෙන් මෙසේ මෙම සතුන්ට ආසාදනය වී ඇතැයි සිතිය හැකි බවය.කොරොනාවෛරසය ව්‍යාඝ්‍රයන් සිව්දෙනෙකු සහ සිංහයන් තිදෙනෙකුට ආසාදනය වූ පළමු සිද්ධිය 2020 අප්‍රේල් මාසයේදී වාර්තා වුයේ එක්සත් ජනපදයේ බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයෙනි. බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ සිටින සියලුම සතුන් සම්පූර්ණ සුවය ලබා ඇත.