කොවිඩ්: බුදුන්ගේ උපදෙස අනුව යමින් ගමට දන් දෙන හාමුදුරුවෝ

වීඩියෝ ශීර්ෂ වැකිය, කොවිඩ්: බුදුන්ගේ උපදෙස අනුව යමින් ගමට දන් දෙන හාමුදුරුවෝ
Published

කොරෝනා වෛරස් වසංගතය හමුවේ අගහිඟකම්වලට මුහුණ පා සිටින සිය ගම්වාසීන්ට 'දන් දෙන' බුද්ධ පුත්‍රයෙකු පිළිබඳ මහනුවර පිළිමතලාව ප්‍රදේශයෙන් වාර්තා වේ.

"අහිංසක දායකයන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව" සිය ගුරු වැටුප සහ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා එක්රැස් වූ අරමුදල් මේ මොහොතේ අසරණව සිටින ගම්වාසීන්ගේ හිතසුව පිණිස යෙදවූ බව පිළිමතළාවේ පරනාගල පුරාණ විහාරස්ථානයේ වැඩවසන ටැම්පිටියේ වනරතන හිමි බීබීසී සිංහල සේවය වෙත පැවසූහ.

"මට මේ ගමේ දායකයෝ තමයි අවුරුදු විස්සක් දානේ දීලා, ආහාර ටික දීලා, උදේ සහ දවල් දානේ ටික දීලා ජීවත් කෙරෙව්වේ. අපිට ඉගැන්නුවා... ඒ වගේම සිවුරු ටික දුන්නා. සබන් කෑල්ල, දත් බුරුසුව දුන්නා. ඒ වගේම අඳනය දුන්නා. සියලුම දේවල් මේ දායකයෝ දුන්නා,"

"ඉතින් දායකයට මේ වෙද්දී පන්සලට දානේ ටික අරගෙන එන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. මිනිස්සු ඒ තරම් අසරණ වෙලා,"

"ඒ දායකයෝ දවසක් හරි කුසගින්නේ ඉන්නවා නම් ඒ කුසගින්න නිවන්නට මට යම් කිසි දෙයක් කරන්නට පුළුවන් නම්, ඒ දේ කිරීම තමයි අපේ මහත්තයෝ මේ වෙලාවේ මම කරන්නේ." යනුවෙන් පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයේ ආචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

කොවිඩ් හමුවේ අසරණව සිටින ලක්ෂ සංඛ්‍යාත ජනයාට උපකාර කිරීමට ඉදිරියට පැමිණෙන ලෙස උන්වහන්සේ "පොහොසත්" පන්සල්, කෝවිල්, පල්ලි සහ දේවස්ථානවලින් ඉල්ලා සිටිති.

නිෂ්පාදනය: සුනෙත් පෙරේරා, කැමරාකරණය: චමිල් රූපසිංහ

මේ ගැනත් කියවන්න: