කොවිඩ් සහ සංචාරක කර්මාන්තය: ඔබේම රටේ "දෙවෙනි පෙළ පුරවැසියන්" ලෙසින් හැඟීම

A group of tourists enjoy a meal in Istanbul while a cleaner is standing nearby

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රට පුරා ලොක්ඩවුන් නීති පනවා තිබුණ ද තුර්කිය සංචාරකයන්ට රට තුළට ඒමට අවසර දුන්නේය
Published

"අපේම රටේ හරියට අපිට සලකන්නේ දෙවෙනි පන්තියේ පුරවැසියන්ට වගේ," ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වමින් තුර්කි වැසියෙක් පවසා තිබිණ.

කෝවිඩ් රෝගයෙන් මිදුනු සුරක්ෂිත දේශයක් බව පවසමින් සංචාරක අමාත්‍යාංශය විසින් වීඩියෝ පටයක් නිකුත්කිරීමෙන් අනතුරුව දහස් ගණන් තුර්කි වැසියෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එසේ කෝපය පළ කළහ.

තුර්කියේ සංචාරය කරන මෙන් එම වීඩියෝ පටය මගින් විදේශිකයන්ට ආරාධනා කර තිබිණ.

සංචාරක කර්මාන්තයේ නිරත තුර්කි ජාතිකයන් "මම එන්නත ගත්තා, ඔබ විනෝද වෙන්න," යනුවෙන් සඳහන් මුව ආවරණ පැළඳ සේවයේ නිරතව සිටින ආකාරය වීඩියෝවේ දැක්විණ.

ජනතා කෝපය හමුවේ ඉක්මනින්ම එම වීඩියෝ පටය ඉවත්කරගනු ලැබ තිබේ.

Yellow masks with 'Enjoy, I am vaccinated' written on them

ඡායාරූප මූලාශ්‍රය, Turkish Ministry of Tourism

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතා කෝපය හමුවේ තුර්කි බලධාරීහු ඉක්මණින් ම එම වීඩියෝ පටය ඉවත්කරගත්හ

තුර්කි ජනගහනයෙන් තවමත් එන්නත ලැබී තිබෙන්නේ 14% කට ආසන්න පිරිසකට පමණි.

එහෙත් ගිම්හාන සංචාරක සමය එළැඹීමට ප්‍රථම සංචාරක කර්මාන්තයේ නිරත සියලු දෙනාට එන්නත් ලබාදීමේ වැඩසටහනක් තුර්කි ආණ්ඩුව විසින් ආරම්භ කරනු ලැබ තිබේ. සංචාරක කර්මාන්තය, තුර්කියේ ආර්ථිකයට තීරණාත්මක අංශයකි.

තුර්කියට ඇතුළුවීම පිණිස බොහෝ රටවල සංචාරකයන්ට පීසීආර් පරීක්ෂණ (PCR test) පවා අවශ්‍ය නොවේ. එමතු නොව, රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කර තිබියදී පවා සංචාරකයන්ට රට පුරා ඇවිදීමට අවසර තිබිණ.

"ලැජ්ජයි," එන්නත ලබාගත් බව දැක්වෙන ටැගයක් කන්වල එල්ලා තිබුණු ගවයෙකුගේ පින්තූරයක් සහිතව කාන්තාවක් පළ කළ පෝස්ටුවක දැක්විණ.

එම ගවයාගේ ඡායාරූපය ඉක්මණින්ම අන්තර්ජාල 'මීම්' එකක් බවට පත්විය.

A cow looks into the lens of a camera

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්නත ලබාගත් බව දැක්වෙන ටැගයක් කන්වල එල්ලා තිබුණ ගවයෙකුගේ පින්තූරයක්

යළිත් වරක් කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මැයි මාසය තුළත් තුර්කිය සති දෙකක් සම්පූර්ණයෙන්ම වසා දැමිණ.

සියලු දෙනා සඳහාම එන්නත ඉක්මණින් ලබාදෙනු දැකීම ජනතාවගේ අභිප්‍රාය වී තිබේ.

"ඩොලර් එකක් කියන්නේ ලීරා 8.50යි," ට්විටර් පණිවුඩයක සඳහන් විය. "එක සංචාරකයෙක් කියන්නේ එන්නත ගනිපු සංචාරක සේවකයෝ දහස් ගණනක් කියන එක."

තීරු ලිපි රචක Izzet Capa පවසා තිබුණේ, "තුර්කි ජාතිකයෙක් විදියට මට කවදාවත් මේතරම් පහත් හැඟීමක් දැනිල නෑ," යනුවෙනි.

විදේශිකයන් පමණක් නොව තුර්කි ජනතාව ද සංචාරකයන් අතර සිටින බව පවසමින් විදේශ ලේකම් Mevlut Cavusoglu ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය අනුමත කළේය.

කොරෝනාවෛරස වසංගතය රට වෙලාගැනීමට ප්‍රථම, 2019 දී, විදේශික සංචාරකයන් විසින් ඩොලර් බිලියන 30ක් තුර්කියේ ආර්ථිකයට බැරකොට තිබිණ.

A bird's eye view of a beach on the Turkish coast

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වසරේ ගිම්හානයේ මුහුදු වෙරළ සියල්ල සංචාරකයන්ගෙන් පිරී යනු දැකීම තුර්කි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබේ

මේ වසරේ එම සංචාරකයන් යළි ගෙන්වා ගැනීම තුර්කි ආණ්ඩුවේ බලාපොරොත්තුව වී තිබේ.

ආණ්ඩුවේ උත්සාහය අගය කරන එක් පුද්ගලයෙක්, විදේශ විනිමය රැගෙන එන සංචාරකයන් රටේ විරැකියාව අඩුකිරීමට දායකවන බව ට්විටර් ඔස්සේ පෙන්වා දී තිබිණ.

ශ්‍රී ලංකා 'සංචාරක බුබුල'

ශ්‍රී ලංකාවේ ද ඒ හා සමාන විවාදයක් යළිත් වරක් ඇවිල යමින් පවතී.

2019 දී සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට ආසන්න ප්‍රමාණයකට (ඩොලර් බිලියන 8කට වැඩි) දායක විය.

එබැවින් දරුණු වසංගතය සමයේ ද රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමට බලධාරීහු සැලසුම් කරමින් සිටිති.

තවමත් එන්නත ලැබී තිබෙන්නේ ජනගහනයෙන් 10%කටත් අඩු පිරිසකට පමණක් වන අතර, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස රෝහල්වලට ඔක්සිජන් යන්ත්‍ර වහාම අවශ්‍යව තිබෙන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

Arugam Bay in eastern Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශ 'සංචාරක කලාප' බවට පත්කොට රුසියානු සංචාරකයන් කැඳවීමට ශ්‍රී ලංකා බලධාරීහු සැලසුම් කරති

එවන් වාතාවරණයක රටවැසියන් බොහෝ සීමාවන්ට යටත්කොට තිබෙන අතරවාරයේ විදේශික සංචාරකයන්ට රට තුළ සංචාරය කිරීමට අවසර දීම ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්විය.

යුක්රේන සංචාරකයන් පැමිණි සමයේ ආචාර්ය අරුණ අබේගුණවර්ධන ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට දැඩි නීති යටතේ සති දෙකක් හෝටලයක නිරෝධායනය වීමට සිදුවිය.

"මට යන්න අවසර තිබුණේ කාමරේ දොර ගාවට විතරයි," ඔහු බීබීසී සමඟ පැවසීය.

"මාව කාමරේක හිර කරලා. හැබැයි යුක්රේන සංචාරකයෝ බීච් එකේ ඉන්නවා මම ටීවී එකේ දැක්ක."

ආණ්ඩුව විසින් 'අත්හදා බැලීමක්' ලෙසින් කැඳවනු ලැබූ යුක්රේන සංචාරකයන්ට ආරක්ෂාව සැලසීම පිණිස ආයුද සන්නද්ධ ආරක්ෂකයන් ද වෙරළ තීරයේ යොදවා තිබිණ.

Ukrainian passengers arrive at Sri Lanka's Mattala Rajapaksa International Airport, in Mattala

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වසංගතය අතරවාරයේ යුක්රේන සංචාරකයන් කැඳවීම ද විවේචනයට ලක්විය

දින හතක නිරෝධායනයකින් අනතුරුව "සංචාරක බුබුල" යටතේ රට පුරා තෝරාගත් ප්‍රදේශවල සංචාරය කිරීමට ඔවුන්ට අවසර ලැබුණේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට රට තුළට පැමිණීමට මෙන්ම රට වැසියන්ට දැඩි සීමා පනවනු ලැබ තිබියදීය.

"ඒක හරියට අපේම රටේ අපි දෙවෙනි පෙළ පුරවැසියෝ කළා වගේ," ආචාර්ය අරුණ අබේගුණවර්ධන පැවසීය.

"තමන්ගේ අම්ම, තාත්තගේ අවමගුලටවත් යන්න බැරිවුන මිනිස්සු ගැන මම දන්නවා. හැබැයි ටුවරිට්ස්ලට රට වටේ ඇවිදින්න පුළුවන්."

යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට කැඳවනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකුවන උදයංග වීරතුංග විසිනි.

නිරෝධායන නීති කඩ කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් දහස් ගණන් රටවැසියන් අත්අඩංගුවට ගනු ලබන අතරවාරයේ, සංචාරකයන් රටේ සාමාන්‍ය නීති පවා කඩකරමින් හැසිරෙන බවට ද චෝදනා එල්ලවිය.

A worker sprays disinfectant to sanitize a bus station

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් මේ වනවිට 1200 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, දිනපතාම 3000 කට ආසන්න නව ආසාදිතයන් වාර්තා වේ

මේ සියල්ල හමුවේ යළිත් වරක් රුසියානු සංචාරකයන් කැඳවීමේ උත්සහය දූෂණ විරෝධී පෙරමුණේ වසන්ත සමරසිංහගේ දැඩි විවේචනයට ලක්විය.

"පසුගිය වතාවෙත් ආණ්ඩුව කිව්වා මිනිස්සු ගිහින් PCR කරලා කොරන්ටයින් වෙන්න ඕනේ කියලා," ඔහු පැවසීය. "දැන් මේ වෙලාවෙත් සංචාරකයෝ රට වටේ යද්දි කොරන්ටයින් වෙන්නද කියන්නේ?"

සංචාරකයන් ගෙන්වීමට එරෙහිව එල්ලවූ විරෝධය ගැන උදයංග වීරතුංග ෆේස්බුක් සටහනකින් ප්‍රතිචාරය පළකොට තිබිණ.

"මේ වගේ කාලෙක සංචාරකයෝ රටට ගෙන්වන එක කොයිතරම් අමාරු ද කියල ඒ මිනිස්සු දන්නේ නෑ," ඔහුගේ සටහනේ දැක්විණ.

(එම්රේ අසීස්ලේර්ලි (Emre Azizlerli) සහ සරෝජ් පතිරණ සම්පාදනය කළ ලිපියකි.)

කියවන්න: