කොරෝනා වෛරසය: ආසාදිත මෘත දේහ භූමදානය සහ ඉරණතිව් දූපතේ ඉරණම

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ කිළිනොච්චිය, ඉරණතිව් දූපතේ භූමදානය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ ද කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහ බැහැරකිරීමේ ගැටලුව තවමත් අවසන් වී නැති බවට මුස්ලිම් ප්‍රජාව මැසිවිලි නගති. ඔවුන් පවසන්නේ රජය මෙම ගැටලුව නිරාකරණය කිරීමට කිසිදු සාධනීය පියවරක් නොගෙන දිනෙන් දින කල්මරණ බවය.

රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඉරණතිව් දූපතේ පදිංචිකරුවන් පිරිසක් අද (මාර්තු 3) විරෝධතාවක් ඇරඹීමත් සමඟම මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතී.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (මාර්තු 02) පැවසුවේ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවය. එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසුවේ ඉරණතිව් දුපතේ ද ජනතාව ජීවත් වන අතර ඔවුන් භූගත ජලය භාවිත කරන බැවින් මෙම තීරණය එම ජනතාවට කෙසේ බලපාන්නේද යන්නයි.එසේම භූමදානය වෙනත් ස්ථානවල කළ නොහැක්කේ මන්ද යනුවෙන් ඔවුහු තවදුරටත් ප්‍රශ්න කළහ.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඔහු ඒ පිළිබඳව අදාළ විශේෂඥ කමිටුවට දැනුම්දෙන බවකි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවක් පමණක් නොව ශ්‍රී ලංකා ජාතියේ ද අවශ්‍යතාවක් ලෙස සළකා බුද්ධිමත් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ස්තූතිය ප්‍රකාශ කරමින් ට්විටර් සටහනක් තැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ජෙහාන් හමීඩ් වැඩිදුරටත් සඳහන් කළේ "ජෛව අපද්‍රව්‍ය සඳහා සුසාන භූමියක් ලෙස" ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවය.

වර්ග කිලෝමීටර හයක් පමණ වන දුපත් දෙකකින් සමන්විත මන්නාරමට එපිටින් පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් ඉරණතිව් දූපතේ මේ වන විට ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් 108ට අයත් පුද්ගලයින් 335 දෙනෙකු පමණ වාසය කරන බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.

කෙසේවෙතත් මේ දක්වා එම දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති බව පවසන දූපත්වාසීන්, පෙන්වා දෙන්නේ ඉරණතිව් දූපතේ නැවත පදිංචි කිරීම් සිදුවන තත්ත්වයක් යටතේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් බවය. ඒ අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු එම දූපතේ භූමදානය කිරීමට එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් දක්වන බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

මේ අතර, කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සඳහන් මාර්ගෝපදේශ සකස්කර අවසන් බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසූවේ අදාළ මාර්ගෝපදේශ අද (මාර්තු 03) නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

කියවන්න:

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ රජය ඉරණතිව් දූපතේ කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට ගත් තීරණය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් එකිනෙකාට එරෙහි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් බවය. එය කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානයට ගත් තීරණය යටපත් කිරීමේ උත්සාහයක් බව ද ඔහු පෙන්වා දෙයි.

"දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් අවසානයේ, රජයේ වෙන් කිරීමේ ක්‍රියාමාර්ග නිසා එකතුවෙලා .එය හොදටම පේනවා පසුගියදා පැවති පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ විරෝධතාවයෙන්. මෙම ප්‍රජාවන් දෙක එකට එකතු වී ඇති බව ඔවුන් දැක්ක නිසා ඔවුන් එයට භීතියට පත්වෙලා දැන්. මෙය ඔවුන්ගේම නාට්‍යයක්,"යනුවෙන් රවුෆ් හකීම් බීබීසී සිංහල සේවයට පැවසීය. මුස්ලිම් හා ද්‍රවිඩ ජාතින් භේද කිරීමට දරන උත්සාහයක් "සාමාන්‍ය රාජ්‍ය බුද්ධි මෙහෙයුමක්" ලෙස ද ඔහු හැඳින්වීය."අපි දන්නවා ඔවුන් අපි එකිනෙකාට එරෙහිව ජනතාව ධ්‍රැවීකරණය කිරීමට උත්සාහ කරමින් මැතිවරණ ජයග්‍රහණය කිරීමට පවා සමත් වූයේ කොහොමද කියලා. අපි දන්නවා මධ්‍යස්ථ සිංහලයන් සිටින බව, මම හිතන්නේ මේ රටේ දෙමළ හා මුස්ලිම් නායකත්වයේ පරිණතභාවය නිසා හා දුරදක්නා නුවණ නිසා අපි මෙන්ම සිංහල ප්‍රජාවේ බහුතරයක් ද මෙම ලාභ දේශපාලනයට වැටෙන්නේ නැති බව.""මෙය ඔවුන්ගේ ලාභ දේශපාලනය මිස අන් කිසිවක් නොවේ. ඔවුන් සිතන්නේ එවැනි දේ කිරීමෙන් ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව රැවටීමට ඔවුන්ට හැකි බවයි," යනුවෙන් ද රවුෆ් හකීම් පැවසීය.

ඉරණතිව් දුපතේ කෝවිඩ් මෘතදේහ භූමදාන කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන සියලු දෙනා ඇමතීමට බීබීසී සිංහල ගත් උත්සායන් සාර්ථක නොවීය. ඒ පිළිබඳ කළ වීමසීමට, මෙම ලිපිය පළ කෙරෙන අවස්ථාව තෙක් ම ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොවිණි.

කෙසේවෙතත්, ඇතැම් සමාජ ක්‍රියාකාරීන්ගේ විවේචනය වී ඇත්තේ, ජිනීවා හි මතුවන තත්ත්වයට මුහුණ දීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ලිඛිතව ප්‍රකාශ කළ ද ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොකෙරෙන තැනට පියවර ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ඉදිරි පැය 48 තුළ දී ලැබෙතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කියවන්න: