කොරෝනා වෛරසය: විනෝදාස්වාදය, සංගීත ශිල්පීන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට අමතක වෙලාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දැහැමි රණවීර
- Role, BBC සිංහල
- Published
වෙනත් බොහෝ කර්මාන්ත, ව්‍යාපාරවලට මෙන්ම ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයටද කොරෝනාවෛරස වසංගතය දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති බව කලා ශිල්පීහු පවසති.
එළිමහන් ප්‍රසංග පමණක් නොව ගීත නිර්මාණයේ සිට එළිදැක්වීම දක්වා සම්බන්ධ වන සියලු පුද්ගලයන්ට වසංගත කාලයේ මූලම්‍ය මෙන්ම මානසික වශයෙන් ද විවිධ පීඩා එල්ල වී ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගන්නට ලැබිණි.
කණ්ඩායම් වශයෙන් කෙරෙන කටයුතුවල පසුබෑම් ඇති වුව ද තනි පුද්ගල නිර්මාණ යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එළිදැක්වීම පසුගිය කාලය තුළ යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි ද කළාකරුවෝ පවසති.
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඇතිවූ බලපෑම ගණනය කිරීමක් හෝ එහි නියැලී සිටින පිරිස ගැන පවා කිසිදු නිල තක්සේරුවක් නොමැති හෙයින් එයට සම්බන්ධ කලාකරුවන්ගේ අදහස්, යෝජනා මත පමණක් මෙම ලිපිය සකස් කර ඇත.
අභිෂේකා විමලවීර
"පිටතින් බැලූ කළ කොරෝනාවෛරසය කාලයේ සංගීත ක්ෂේත්‍රයේ කඩාවැටීමක් තියෙනවා. නමුත් මේ කාලය කලාකරුවන්ට අලුතින් හිතන්න ඉඩක් ලබා දුන්නා. අලුත් ක්‍රම අත්හදා බැලුවා. අලුත් ගීත පවා නිර්මාණය වුණා," විශාරද අභිෂේකා විමලවීර පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Abhisheka Wimalaweera
"මේ නිර්මාණ ඉදිරියේ දී එළියට එයි. නමුත් වසංගතය කාලය තුළ සංගීත ක්ෂේත්‍රයේ සිටින අයට තමන්ගේ වෘත්තීය නම් නැති වෙලා තියෙනවා. අපිට හිතුනට මෙයින් බලපෑම් එල්ල වෙලා තියෙන්නේ ගායක ගායිකාවන්ට පමණයි කියලා, ඇත්තටම ඔවුන් දාමයක මුල් පුරුක පමණයි."
"ප්‍රසංග නරඹන්න එන මිනිස්සු, ඒ අයට පුංචි දේවල් විකුණන මිනිස්සු, කම්කරුවන්, කාර්මික ශිල්පීන්ගෙන් පටන් ගත්තහම මේ දාමයේ කොනක ඉන්නේ ත්‍රීවීල් රියදුරන් වෙන්න පුළුවන්. ඒ හැමෝටම මේ එක් ක්ෂේත්‍රයක් කඩා වැටීමේ බලපෑම ඇතිවෙනවා," ඇය පැවසුවාය.
කෙසේනමුත්, මෙම කාලසීමාව තුළ රජයකට සෞඛ්‍යය සහ අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබා දෙන්නට සිදු වීමත් සමග විනෝදාස්වාදය සඳහා අවධානය යොමු කිරීමට නොහැකි තත්වයක් ඇති බව ඇය පැවසුවාය.
"නමුත් සංගීතයෙන් මිනිස්සු සුවපත් කරන්න පුළුවන්. පසුගිය දවස්වල තට්ටු නිවාස ළඟ ඒ ඉන්න මිනිස්සුන්ට රස විඳින්න කෙටි සංගීත සංදර්ශන පැවැත්වුණා. නමුත් ඒ හැර කලාකරුවන් දිරිගන්වන්න රජයෙන් මෙතෙක් කිසිම දීමනාවක් ලබා දීලා නැහැ."
එමෙන්ම, කලාකරුවන් බොහෝ විට තනි, තනිව ක්‍රියා කිරීම හේතුවෙන් රජයෙන් දීමනාවක් ලබාගැනීම පිණිස සහයෝගය දැක්වීමට පවා රට තුළ එක් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බව ඇයගේ අදහසය.
කොරෝනාවෛරසය සමග තවත් වසර ගණනාවක් දිවි ගෙවීමට සිදුවනු ඇති බැවින්, ඉදිරියේ දී විනෝදාස්වාදය සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩ පිළිවෙලක් ක්‍රියාමක විය යුතු අතර, සියලු ජාතීන් සෑම වයස් සීමාවකම කලාකරුවන් නියෝජනය වන පරිදි එක් සංගමයක් ක්‍රියාත්මක වීම මෙවන් අවස්ථාවක ඵලදායී බව අභිෂේකා තවදුරටත් පැවසුවාය.
ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉන්දියාව ඇතුළු ලොව පුරා සියලු රටවල පාහේ සංගීත ක්ෂේත්‍රයට කොරෝනාවෛරස වසංගතයෙන් බලපෑම් එල්ල වී ඇත. එක්සත් රාජධානියේ නව වාර්තාවකට අනුව සංගීත ශිල්පීන්ට ඔවුන්ගේ ආදායමෙන් තුනෙන් දෙකක් අහිමි වී තිබේ.
ප්‍රසංග හා උත්සව නැවැත්වීමත් සමග 2020 දී සජීවී ප්‍රසංග ආදායම 85% කින් පහත වැටී තිබේ.
සංගීත ක්ෂේත්‍රය 2019 දී එක්සත් රාජධානියේ ආර්ථිකයට ඩොලර් බිලියන 5.8 කින් දායක වූ බව වාර්තාවේ දැක්වේ.
නමුත් ශ්‍රී ලංකාවේ මෙවැනි ගණනය කිරීමක් හෝ වාර්තාවක් තවමත් නිකුත් වී නොමැත.
රොෂාන් ප්‍රනාන්දු
"මේ ක්ෂේත්‍රයෙන් යැපෙන පුද්ගලයන් ලක්ෂ ගණනක් ඉන්නවා. මම නියෝජනය කරන එළිමහන් ප්‍රසංගවල ගායකයන්, වාදකයන්, කාර්මික ශිල්පීන්, නර්තන කණ්ඩායම්වල ඉඳන් එළියේ රට කජු, ටොෆි ටික විකුණන පුද්ගලයා පවා මේ කොරෝනා වසංගතය නිසා දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා," ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ (JASPA) සභාපති, ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Roshan Fernando
"බොහෝ ප්‍රශ්න තියෙන රටක දුප්පත් අහිංසක මිනිස්සුන්ට තිබුණ එකම විනෝදාස්වාදය යම් සංගීත ප්‍රසංගයකට ඇවිත් යන එක. මුදල් තියෙන අයට මානසික සුවයක් ගන්න මුදල් වියදම් කරලා යන්න තැන් සෑහෙන්න තියෙනවා. නමුත් අනික් මිනිස්සුන් පවුල් පිටින් හෝ තනිකඩ ඇවිත් තමන්ගේ මානසික සහනයට සතුටු වෙලා යන විදිහේ සේවයක් කළ මේ ක්ෂේත්‍රයේ අය දැන් තමන්ගේ රැකියාව නැති නිසා මානසික පීඩනයට ලක් වෙලා, ප්‍රශ්න ඇතිවෙලා."
"නමුත් කලා ක්ෂේත්‍රයේ අය හොඳින් ඇඳ පැළඳ හොඳ වාහනයක යන්න ඕනේ කියන දේත් එක්ක, මිනිස්සු හිතන්නේ නැහැ මේ අයට ප්‍රශ්න තියෙනවා කියලා. හැමදාම අලුත් වන සංගීතයට අදාළ තාක්ෂණයට පවා මුදල් අවශ්‍ය වෙනවා, නමුත් මේ කාල සීමාවේ දී ඇති වෙලා තියෙන පීඩා එක්ක ඒ කිසි දෙයක් කරන්න විදිහක් නැහැ."
කෙසේනමුත්, මෙවැනි කාල සීමාවක් තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට පටහැනිව සංගීත සංදර්ශන සංවිධානය කිරීමට ඉල්ලීම ද "අසාධාරණ" බව ඔහු පැවසීය.
මේ අතර, ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ ඉල්ලීමකට අනුව කුඩා සංගීත කණ්ඩායම්වලට, ගායන ශිල්පීන්ට සහ නිවේදකයන්ට මෙම කාලය තුළ රූපවාහිනී වැඩසටහන් පනහකට සහභාගි වීම සඳහා අවස්ථාව ලබා දීමට රජය ක්‍රියා කළ බව ඔහු පැවසීය.
"ඒ වගේම රජයෙන් ගායන ශිල්පීන්ට ලක්ෂ පහක ණයක් ලබා දුන්නා. නමුත් හැමෝම ඒක ගත්තේ නැහැ. නමුත් අපි දැන් ඉල්ලන්නේ ඒක නෙමෙයි. මේ ගත්ත ණය ගෙවන්න පවා ආදායමක් තියෙන්න ඕනේ. සෞඛ්‍ය අංශවලින් අපිට හදලා දෙන්න ඕනේ මේ ප්‍රසංග හෝ වැඩසටහන් පවත්වන්න යම් ක්‍රමවේදයක්."
ලෝකයම මෙම තත්වයට හැඩ ගැහෙන වාතාවරණයක් තුළ, අදාළ සීමාවන්ට යටත්ව සෞඛ්‍යාරක්ෂිතව සිය වෘත්තීය ඉදිරියට ගෙන යාමට ඉඩ සැලසිය යුතු බව ඔහු පැවසුවේය.
"මේ අය වසරක් පුරා දැන් ගෙවල්වල. තව වසර පහක් මේ තත්වය තිබුණොත් මොකද කරන්නේ? අපිට ක්‍රමවේදයක් හදලා දුන්නොත් රජයට පවා බරක් වෙන්න අවශ්‍ය නැහැ. අප්‍රේල් විතරයි සංගීත කණ්ඩායම්වල සීසන් එක. දැන් අපිට අවුරුදු දෙකක් සීසන් එක නැති වුණා. මේ අවුරුද්දත් නැහැ. අපිට පුළුවන් ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතිරිය අදාළ රජයේ අංශවලින් ක්‍රියාත්මක කරන්න ඕනේ."
එළිමහන් ප්‍රසංගයක් පැවැත්විය හැකි ස්ථානයක් වට කර, පුද්ගලයන් ඇතුළුවීම සීමා කර, පැමිණෙන පිරිසේ තොරතුරු සටහන් කර, ශරීර උෂ්ණත්වය මැන බලා තවත් අදාළ සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කරමින් ලෝකයේ වෙනත් රටවල් සේම ඉදිරියේ දී වැඩසටහන් පැවැත්විය යුතු බව ඔහු පැවසීය.
"මේ ක්ෂේත්‍රයේ අය දේවල් ඉල්ලා උද්ඝෝෂණ, පිකටිං කරන්නේ නැහැ. නමුත් ඕනෑම ව්‍යවසනයක දී අපිට තමයි මුලින්ම පහර වදින්නේ. ඒ වගේම අන්තිමට අවධානය යොමු වෙන්නෙත් අපිටමයි."
"අපේ පැත්තෙනුත් වෙන්න ඕනේ දේවල් තියෙනවා. එකක් තමයි මේක කර්මාන්තයක් ලෙස නීතිගත වෙන්න ඕනේ. මෙහි සාධාරණ ආදායමක් ලබන අය ඉන්නවා. ඒ අය කැමතිනම් රජයට බදු ගෙවන සාධාරණ වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. එහෙම වුණොත් මේ වගේ අවස්ථාවක රජයෙන් සහන ඉල්ලීම වගේම බැංකුවකට ගිහින් ණයක් පවා ගන්න ඉඩ සැලසෙනවා."
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ නියැලෙන්නන් "තනිව ගමනක් යනවා" හැර එකමුතුව ස්ථීර වැඩපිළිවෙලක් යටතේ ක්‍රියා නොකරන බව ද රොෂාන් තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, YouTube
වසංගත තත්වය පහව යන තෙක් Drive-in concert (ඩ්‍රයිව් ඉන් - සිය වාහනයෙන් ගොස් එහි සිටම නැරඹිය හැකි ප්‍රසංග) නැත්නම් අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පවත්වන ප්‍රසංග ගැන ඉදිරියේ දී සලකා බැලිය යුතු බව කළා ශිල්පීහු පැවසූහ.
මේ අතර, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය නිර්මාණ එළිදක්වමින් මුදල් ඉපැයීමට ද ගායක ගායිකාවන් විශාල වශයෙන් යොමු වෙමින් පවතී. පසුගිය දිනවල එසේ එළිදැක්වූ ගීත කෙටි කාලයක් තුළ මිලියන ගණනක් නරඹා ඇති බව දැකගත හැකිය.
එමෙන්ම රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන 'රියැලිටි' වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දෙන ගායන සහ වාදන ශිල්පීන් විශාල පිරිසක් ද සිටිති.
සුරේෂ් මාලියද්ද
"මෙය ලෝකයේම සංගීත ක්ෂේත්‍රයට පොදු තත්වයක්. නමුත් ලංකාවට මෙය වැඩිපුර දැනෙනවා සංගීත ක්ෂේත්‍රය බලවත් තැනක නොතිබෙන නිසා. දියුණු රටවල කලාකරුවන් යම් කිසි තලයක ජීවත් වෙනවා. ඒ අයට මේ වගේ කාලයක අපට සාපේක්ෂව ජීවත් වීමේ ප්‍රශ්නයක් පැන නැඟෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. අපේ සංගීත ක්ෂේත්‍රය රැදී තිබෙන්නේ නූලකින්," සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Suresh Maliyadda
අතීතයේ පටන් විවිධ හේතුන් මත රට අස්ථාවර වන බොහෝ අවස්ථාවල සංගීත ක්ෂේත්‍රයේ පසුබෑම් ඇති වුණ නමුත්, කොරෝනාවෛරස වසංගතය දීර්ඝකාලීන බලපෑම් එල්ල කළ බව ඔහු පැවසුවේය.
"අවසාන වරට ප්‍රසංගයක් කළේ ගිය අවුරුද්දේ පෙබරවාරි 29. දැන් වසරකට ලඟයි. මේවගෙන් යැපෙන පිරිසට දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම පොදුවේ මිනිස්සුන්ට මෙවැනි තත්වයක දී මුලින්ම හිතන්න වෙන්නේ සෞඛ්‍ය, කෑමබීම සහ ජීවත් වීම ගැන. කලාව ගැන හිතන්න වෙන්නේ අන්තිමට," ඔහු පැවසීය.
"මීට කාලයකට කලින් කලාකරුවන්ට රජයෙන් ණයක් ලබා දුන්නා. සම්බන්ධකම් තියෙන අය ඉක්මණින් ලබා ගත්තා. නමුත් කලාකරුවන් ගැන නිසි ගණනයක් නැති නිසා, සියලුදෙනාටම මෙය ලබා ගන්න බැරි වුණා."
මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක්ම සමහර කලාකරුවන් ඔවුන්ගේ දේශපාලනය සඳහා "පාවිච්චි" කළ නමුත්, සුභසිද්ධිය සඳහා කිසිදු ස්ථීර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ බව ඔහු පැවසීය. අඩුම ගානේ තාවකාලික පැලස්තරවත් ඔවුන් සතුව නෑ.
"පාසල් වෑන් රථ රියදුරන්ට පවා කොරෝනාවෛරසයෙන් ඇති වුණ බලපෑම පසුගියදා රූපවාහිනියෙන් කතා වෙනවා මම දැක්කා. නමුත් කලාකාරයන් ගැන කවුද කතා කරන්නේ. මේ ගැන ඇතිවෙන්නේ දැඩි කණගාටුවක්. ජීවිතය ගැන ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවක, විනෝදාස්වාදය නැති වෙලා, කලාව කියන විෂය පැත්තකට වෙනවා."
"නමුත් කලාකරුවන් තමයි රටේ සමතුලිත බව ඉදිරියට ගෙන යන කෙනා කියන එක සහ ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද කියන එකත් අමතක කරනවා. කලාකරුවන්ගේ සංගම්වලින් මුල කාලේ බඩු මල්ලක් බෙදා දුන්නා. ඒ වගේ ඒවා කෙටි කාලීන සහ පොදුවේ සිද්ධ වෙන තාවකාලික දේවල්. ඒ හැර ඒ සංගම්වලින් සිදු වුණ කිසිම සේවයක් මේ වෙනතුරු මම දැකලා නැහැ."
පිටරට පැවැත්වෙන ශ්‍රී ලාංකික ගීත ප්‍රසංගවලට 'වැඩිම වාර ගණනක් සහභාගී වූ සංගීත අධ්‍යක්ෂකවරයා' ලෙස සැලකෙන්නේ සුරේෂ් මාලියද්දය. නමුත් වසංගත කාලයේ ප්‍රසන්ග නැතිවීම තුල ලැබුණු ඉඩකඩත් සමග මින් පෙර වසරවලට වඩා වැඩි ගීත ප්‍රමාණයක් ඔහු නිර්මාණය කර ඇති අතර, තාක්ෂණික ක්‍රම ඔස්සේ සිය වෘත්තීමය කටයුතු පුලුවන් උපරිමයෙන් පවත්වාගෙන යන බව ද පැවසුවේය.
රත්න ශ්‍රී විජේසිංහ
ශ්‍රී ලංකා ගේය පද රචකයන්ගේ සංගමයේ සභාපති සාහිත්‍යවේදි ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ සිය අදහස් දක්වමින් පැවසුවේ වෙනත් පැතිකඩක් ගැනය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
"සුනාමි වගේ ව්‍යවසන ඇති වුණත් මේ වගේ මහා පරිමාන සංක්‍රාමී රෝග වසංගතයක් අපි ජීවිත කාලය පුරාවට අත් විඳලා තිබුණේ නැහැ. මේ අවධියේ අපි හැමෝම හුදෙකලා වෙලා ඉන්නේ. නමුත් මේ අලුත් තත්වයට හෙමින් හෙමින් සාහිත්‍යය සහ කලා ලෝකය හුරුවෙමින් ඉන්නවා කියා පේනවා."
"නමුත් මේ කාලය තුළ ඇතිවන මානසික පීඩනයත් එක්ක නිදහසේ නිර්මාණවල යෙදීම අපහසු වෙලා තිබෙනවා. නිර්මාණ ගණන වැඩි කර ගන්න කෙනෙකුට මෙය හොඳ කාලයක් වෙන්න පුළුවන්. නමුත් සාහිත්‍යකරුවන්, කලාකරුවන් කියන්නේ සංවේදී මිනිස්සු."
"ලෝකයේ මිලියන ගණනක් මිය යන කාලයක විශාල කලකිරීමක්, පසුතැවිල්ලක් සිතේ ඇති වෙනවා. ඒ දේ එක්ක කිසිම සාහිත්‍යකරුවෙකුට හිත හදාගෙන නිර්මාණයක යෙදෙන්න බැරි තත්වයක් තියෙන්නේ."
"සංචරණ සීමාවන් සමග රසාස්වාදන වැඩසටහන්, සම්භාෂණ, දේශන, සම්මන්ත්‍රණ මෙන්ම යහළු මිත්‍ර සමාගම් සියල්ල ඇනහිට තිබෙනවා. සමාජශීලී සත්වයෙක් වෙන මනුස්සයාට මෙය දඬුවක් වගේ.'
සෞඛ්‍ය නීතී රීති දැඩි ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් කලාකරුවන්ගේ සංගම්වලින් විශේෂ වැඩපිළිවෙලක් හෝ විකල්ප යෝජනා ඉදිරිපත් කර නොමැති බව ඔහු පැවසීය.
කෙසේනමුත්, බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ තනිව සිය නිර්මාණ කටයුතු සිදු කරන බව ද රත්න ශ්‍රී විජේසිංහ පැවසීය.
"මේ තත්වය මඟ හරවා ගන්න අනිවාර්යෙන් සිදු කළ යුතු වන්නේ, මිත්‍යා දේ පසුපස දුවන්නේ නැතුව, ඉතා ඉක්මණින් කොරෝනාවෛරස එන්නත ලබා දෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි," ඔහු තවදුරටත් පැවසුවේය.




























