ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව: අනිවාර්ය හමුදා පුහුණු යෝජනාව ගැන සමාජ මාධ්‍ය ජාල අදහස්
වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනෙක් සිය අදහස් ප්‍රකාශ කළහ.
අදාළ යෝජනාව ඉදිරිපත් කරන්නේ "විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින්" යැයි කී අමාත්‍යවරයා, මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ඨ ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවද පැවසීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පැවසූයේ "දහ අටට වැඩි අයට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාව මිලිටරිකරණ මානසිකත්වය පෙන්වන්නක්" බවය.
"හමුදා පුහුණුව දෙන්න කලින් මිනිස්සුන්ගේ හොද්දට දාන්න කහ කුඩු ටිකක් දෙන්න වැඩපිළිවෙලක් ගේන්න. කොහේ තියෙන සල්ලියක් ද හමුදා පුහුණුවක් ක්‍රියාත්මක කරන්න?," ජනවාරි 18 වෙනි දින කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා පැවසීය.
සරත් වීරසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ "18ට වැඩි තරුණ තරුණියන්" ලෙස සඳහන් වුවද වයස් සීමාවක් සඳහන් නොවිණි.
එමෙන්ම විශාල පිරිසකට හමුදා පුහුණුව ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන, ඉඩ පහසුකම් වැනි මූලික කරුණු ගැන පැහැදිලි කිරීමක් ද නොමැත.
මෙම ප්‍රකාශය පිළිබඳ කරුණු දක්වමින් හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට පැවසුවේ, "හමුදාව මෙවන් යෝජනාවක් ගැන දැනුවත් වී නැති"බවය.
"මේ වෙන තෙක් ශ්‍රී ලංකා යුද හමුදාවවත්, ත්‍රිවිධ හමුදාවවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා නැහැ... කෙසේනමුත් ඉදිරියේ දී එවන් කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒක රජයේ ප්‍රතිපත්තියක් නම් අපට දැනුම් දෙයි. නමුත් මම දැනුවත්ව මෙම තත්ත්වය අපට දැනුම් දීලා නැහැ," හමුදාපතිවරයා පැවසුවේය.
අනිවාර්ය හමුදා පුහුණුව ලබා දෙන ලොව වෙනත් රටවල් මොනවාද?
දකුණු කොරියාව
තවමත් උතුරු කොරියාව සමඟ විටින් විට ගැටෙන දකුණු කොරියාව තුළ ජාතික හමුදා සේවය සම්බන්ධයෙන් දැඩි පද්ධතියක් ක්‍රියාත්මක වේ.
සෞඛ්‍ය මට්ටම යහපත් සියලුම පුරුෂයන් හමුදාවේ මාස 21ක් ද, නාවික හමුදාවේ මාස 23ක් හෝ ගුවන් හමුදාවේ මාස 24ක් ද සේවය සම්පූර්ණ කළ යුතුය. පොලිස් බලකායේ, වෙරළාරක්ෂක බලකායේ, ගිනි නිවීමේ සේවාවේ සහ සමහර විශේෂ අවස්ථා වලදී රජයේ දෙපාර්තමේන්තු වල සේවය කිරීමට ද විකල්ප තිබේ.
කෙසේනමුත්, ක්‍රීඩාවෙන් රටට කීර්තිය අත්කර ගන්නා පුරවැසියන් මේ පුහුණුවෙන් නිදහස් කර තිබේ.
උතුරු කොරියාව
උතුරු කොරියාව ලොව දීර්ඝතම අනිවාර්ය හමුදා සේවය ඇති රට වන අතර, පුරුෂයන් අවුරුදු 11 ක් සහ කාන්තාවන් අවුරුදු හතක් සේවයේ යෙදිය යුතුය.
එරිත්‍රියාව
එරිත්‍රියාවේ පුරුෂයන් සහ තරුණ, අවිවාහක කාන්තාවන් මාස 18ක කාලයක් ජාතික හමුදාවේ සේවය කළ යුතුය.
කෙසේවෙතත්, මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව, මෙම හමුදා සේවය බොහෝ විට වසර ගණනාවක්, නැතහොත් දින නියමයක් නොමැතිව දීර්ඝ කෙරේ.
"සිවිල් වැසියන්ගේ හමුදා පුහුණුව සහ මිලිටරි වගකීම් නියමිත කාලයට අවසන් නොවන බව දැකගන්න පුළුවන්. පුද්ගලයන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීමක් ලෙස මේ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා" යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය 2015 දී පැවසීය.
මානව හිමිකම් සංවිධානයට අනුව මෙම හමුදා පුහුණුව එරිත්‍රියානුවන් එරටින් පලා යාමට ප්‍රධානතම හේතුව බවට පත් වී තිබේ. එරිත්‍රියානුවන් බොහෝ දෙනෙක් එක්සත් රාජධානියේ සරණාගතභාවය පතා ඇත.
ස්විට්සර්ලන්තය
වයස අවුරුදු 18 ත් 34 ත් අතර පුරුෂයන් සඳහා ස්විට්සර්ලන්තයේ හමුදා සේවය අනිවාර්ය වේ. හමුදා සේවය ඉවත් කළ යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්විණි. එහිදී 73%ක පිරිසක් අනිවාර්ය හමුදා සේවයට කැමැත්ත පළ කළහ.
මේ සම්බන්ධයන් ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයක් සිදුකළ තෙවෙනි අවස්ථාව මෙයයි.
මෙහිදී මූලික සේවාව සති 21 ක් දිගු වන අතර වාර්ෂිකව අමතර පුහුණුවක්ද ලබා දේ.
කාන්තාවන් අනිවාර්ය හමුදා සේවයට යටත් නොවන නමුත් ඔවුන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකිය.
වසර දෙසීයකට අධික කාලයක් යුද්ධයකට සම්බන්ධ නොවුණු ස්විට්සර්ලන්තය තුළ එක් භාෂාවක් හෝ සංස්කෘතියක් නොපවතින අතර, ඔවුන් හමුදා පුහුණුව දකින්නේ සියලුදෙනා එක් කරන ක්‍රියාවලියක් ලෙසය.
ඔස්ට්‍රියාවේ පවතින්නේද මේ හා සමාන තත්ත්වයකි.
බ්‍රසීලය
18 හැවිරිදි පුරුෂයන් සඳහා හමුදා සේවය අනිවාර්ය වේ. එය මාස 10 ත් 12 ත් අතර කාලයක් පවතී. සෞඛ්‍ය හේතූන් මත මෙයට සහභාගී නොවී සිටිය හැකිය. එමෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන පුද්ගලයෙකු නම් හමුදා පුහුණුව ලැබීම ප්‍රමාද කළ හැකිය.
බඳවා ගැනීම්වල දී බොහෝ දෙනෙකු හරවා යවන තත්ත්වයක් බ්‍රසීලයේ දක්නට ඇත. එයට හේතුව නම් එම වසර තුළ හමුදාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා 18 හැවිරිදි තරුණයන් සිටීමය.
බඳවා ගැනීමට පෙර තරුණයින් ප්‍රධාන වශයෙන් ශාරීරික පරීක්ෂණ මාලාවකට සහභාගී විය යුතුය.
ඊශ්‍රායලය
පුරුෂයන්ට හා කාන්තාවන්ට ඊශ්‍රායලයේ හමුදා සේවය අනිවාර්ය වේ. පුරුෂයන් ඊශ්‍රායල ආරක්ෂක බළකායේ (IDF) වසර තුනක් සහ කාන්තාවන් වසර දෙකක් පමණ සේවයේ යෙදිය යුතුය.
එය දේශීය මෙන්ම විදෙස්ගත ඊශ්‍රායල් පුරවැසියන්ට ද අදාළ වේ.
නව සංක්‍රමණිකයන්, ඇතැම් ආගමික කණ්ඩායම් සහ සෞඛ්‍ය හේතු මත පුහුණුව නොලබා සිටිය හැකිය. විශේෂ අවස්ථා වලදී පමණක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙටි කාලීන සේවාවක් සම්පූර්ණ කිරීමට අවසර ඇත.
සිරියාව
සියලුම සිරියානු පුරුෂයින් සඳහා හමුදා සේවය අනිවාර්ය වේ.
2011 මාර්තු මාසයේදී ජනාධිපති බෂාර් අල් අසාද් හමුදා සේවය මාස 21 සිට 18 දක්වා අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කළේය.
හමුදා සේවය මගහරින රාජ්‍ය සේවකයින්ට රැකියා අහිමි විය හැකිය. හමුදා සේවයෙන් පලා යන අය වසර 15ක් සිරගත කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පැවසීය.
ඇතැම් රටවල් මෑත වසරවලදී හමුදා සේවය නැවත හඳුන්වා දීමටද ක්‍රියා කර තිබේ.
- 2017 දී ජෝර්ජියානු ආරක්ෂක අමාත්‍යංශය හමුදා සේවය නැවත ස්ථාපනය කළේ එයින් ඉවත් වී මාස අටකට පසුවය. නව ක්‍රියාවලියට අනුව මාස තුනක් සටන් පුහුණුව ලබා දී ඉතිරි මාස නවය වෘත්තීය හමුදාවට සහය දැක්වීම සඳහා රාජකාරි නිලධාරීන් ලෙස සේවය කළ යුතුය.
- 2008 දී ඉවත් කළ අනිවාර්ය හමුදා පුහුණුව 2016 දී නැවත ඇරඹීමට ලිතුවේනියාව ක්‍රියා කළේය. මෙය වයස අවුරුදු 18 ත් 26 ත් අතර පිරිමින්ට අදාළ වේ. "විශ්ව විද්‍යාල සිසුන් සහ තනියෙන් සිය දරුවා රැකබලා ගන්නා පියවරුන් හැර" අන් අය වසරක් හමුදා රාජකාරි කළ යුතුය.
- 2017 දී ස්වීඩනය හමුදා අනිවාර්ය සේවය නැවත ආරම්භ කරන ලෙසට ඡන්දය ප්‍රකාශ කළේය. වසර සියයකට පසු 2010 දී එය අහෝසි කෙරිණි. මෙම තීරණයෙන් අදහස් වන්නේ පුරුෂයින් හා ස්ත්‍රීන් 4,000 ක් සේවය සඳහා කැඳවනු ඇති බවය.
මෙය පරිපූර්ණ ලැයිස්තුවක් නොවන අතර මිලිටරි සේවය සහ පුහුණුව ලබා දෙන තවත් රටවල් ලොව පුරා තිබේ:
- තුර්කිය - වයස අවුරුදු 20ට වැඩි සියලුම පුරුෂයන් සඳහා හමුදා පුහුණුව අනිවාර්ය වේ. ඔවුන් මාස හයත් 15 ත් අතර කාලයක් සේවය කළ යුතුය.
- ග්‍රීසිය - වයස අවුරුදු 19ට වැඩි සියලු පුරුෂයන් මාස නවයක් අනිවාර්ය හමුදා සේවයේ යෙදිය යුතුය.
- සයිප්‍රසය - වයස අවුරුදු 18ට වැඩි සියලු පුරුෂයන් හමුදා සේවය සම්පූර්ණ කළ යුතුය.
- ඉරානය - වයස අවුරුදු 18 ට වැඩි පිරිමින් සඳහා මාස 24ක හමුදා සේවය අනිවාර්ය වේ.
- කියුබාව - වයස අවුරුදු 17 ත් 28 ත් අතර පුරුෂයන් අවුරුදු දෙකක් හමුදාවේ සේවය කළ යුතුය.
'හොඳ සහ නරක'
අනිවාර්ය හමුදා සේවයට එරෙහිව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තර්ක කීපයක් ගොඩ නැගී ඇත. මෙය නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වා ඇත. එමෙන්ම, මෙමගින් උසස් අධ්‍යාපනය සඳහා පුද්ගලයන් ඇතුළු වීම ප්‍රමාද කරන අතර, සිවිල් ශ්‍රම වෙළෙඳපොළට ඇතුළු වීම ද දැඩි ලෙස ප්‍රමාද කරන බව සඳහන් වී තිබේ.
හමුදා පුහුණුවක් ලැබීමට සෑම පුද්ගලයෙකුටම නොහැකි අතර ඒ සඳහා ශාරීරික, මානසික සහ චිත්තවේගීය ඉල්ලීම් සපුරාලිය යුතුය.
මෙවැනි ක්‍රියාවලියක් මගින් පුද්ගලයන්ගේ ජීවිත පවා අවදානමට ලක් විය හැකි බව ඇතැමුන් පෙන්වා දෙයි. ඒ, හදිසි අනතුරු සිදුවන්නේ සැබෑ සටන්වලදී හෝ යුධ පිටියේදී පමණක් නොව, පුහුණුවීම් වලදීද අනතුරුවලට ලක් වීමේ ඉඩකඩ ඇති බැවිනි.
හමුදා පුහුණුව ලැබූ පමණින් පුරවැසියන් විනයගරුක, නීතිගරුක වේ දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැම්හු ප්‍රශ්න කරති. ඊට උදාහරණ වශයෙන් හිටපු සහ සේවයේ නිරත හමුදා සාමාජිකයන් සම්බන්ධ අපරාධ හුවා දක්වා තිබිණි.
කෙසේනමුත්, තවත් පිරිසක් කියා සිටින්නේ අනිවාර්ය හමුදා පුහුණුව තුළින් විනය ගොඩ නැගී රට සංවර්ධනය වන බවය.