ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුනාමිය: "ජීවිතේ කියන exam එකේදි කාගෙවත් ප්‍රශ්න පත්‍රයක් කොපි කරලා ලියන්න බෑ, හැමෝටම හම්බවෙන්නේ වෙනස් ප්‍රශ්න"
- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, BBC සිංහල
- Published
වසර දහස් ගණනක් පුරා ජනතාවට බොහෝ දේ ලබා දුන් මහ සයුර 2004 දෙසැම්බර් 26 වැනිදා ජනතාව සතුව තිබූ බොහෝ දේ උදුරා ගත්තේය.
ශ්‍රී ලාංකිකයන් තිස් එක්දහසකට ජීවිත අහිමි කරමින්, තවත් හාරදහසක් පමණ අතුරුදන් වූ සුනාමියේ අඳුරු මතකයන් අතර ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණ දෙන සොඳුරු මිනිසුන්ගේ කතා ද සැඟවී තිබේ.
සුනාමියට ගසාගෙන යන විට තිනෙත් ජයසූරිය අවුරුදු හයක කුඩා දරුවෙකි. සුනාමි රළ පහරට ගසාගෙන ගිය ඔහු නතර වී තිබුණේ හම්බන්තොට මහලේවාය තුළ යි.
"මාව සුනාමියට අහුවෙලා ගස් අස්සෙන්, වාහන අස්සෙන් ගහගෙන ඇවිල්ලා නතර වුණේ ලේවායේ. ඊට පස්සේ කොටයක් අල්ලාගෙන මම දවස් එකහමාරක් ලේවයේ හිටියා. මිනී ගොඩගන්න ආපු කට්ටියක් තමයි මාව බෙර ගෙන එයාර් ෆෝස් එකේ අංකල් කෙනෙකුට භාර දීලා හම්බන්තොට රෝහලට ඇතුළත් කළේ," යනුවෙන් තිනෙත් ජයසූරිය බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
වසර 16කට පසු ඒ මතකය ඔස්සේ මම තිනෙත් සමග පසුගිය දිනෙක හම්බන්තොටට ගියෙමි.
හම්බන්තොට මහලේවාය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරන විට හමුවන තල්ගස් මංකඩ පසුකළ විට දක්නට ලැබෙන විහාරස්ථානය අසළ අපි වාහනය නතර කළෙමු.
තිනෙත් වාහනයෙන් බැස ඇඟිල්ල දිගු කරමින් ඔහු දින එකහමාරක් ලේවායේ පාවෙමින් සිටි ස්ථානය පෙන්නුවේය.
එම ස්ථානය ආසන්නයේ ගොඩනැගිල්ලක් තිබූ බව තිනෙත් පෙර ප්‍රකාශ කළ අතර එම ගොඩනැගිල්ල ද අපට එහි ගිය විට දැක ගන්නට හැකිවිය.
"මම සුනාමියෙන් පස්සේ අද තමයි මෙතනට ආවේ. අවුරුදු 16ක් ගෙවිලත් ඒ තැන්, වෙච්චි දේවල් මට හොඳට මතකයි," තිනෙත් පැවසුවේය.
මග සළකුණු සොයා ගැනීම සඳහා තිනෙත්ගේ මව පැවසූ පන්සල, ඔවුන් නතර වී සිටි හෝටලය ආදී සියල්ල එම ස්ථානය ආසන්නයේ දක්නට ලැබුණු නිසා ඔහුගේ මතකය නිවැරදි බව මට පසක් විය.
රුබින්සන් කෘසෝ සමග ලේවායේ රැය පහන් කිරීම
තිනෙත් පවසන ආකාරයට ලේවායට ගසා ගෙන පැමිණි පසු කොටයක් මත නැග දින එකහමාරක් සිටින විට ජල මට්ටම ඔහුගේ නාසයට ආසන්න වී තිබේ. වතුරේ ගසාගෙන ගිය කොටුවක් අල්ලාගෙන ඔහු වරින්වර ජල මට්ටම මැන ඇත.
"ඒ දවස්වල අපේ ගෙදර ටීවී තිබුණේ නෑ. අපි රේඩියෝ ඇහුවා පොත් පත්තර කියෙව්වා. ඒ දවස්වල අපිට අම්මා කියා දෙමින් හිටපු කතාව තමයි රුබින්සන් කෘසෝ. ඉතිං මට හිතුනෙ මාවත් රුබින්සන් කෘසෝ වගේ වෙනත් දූපතකට ගහගෙන යයි කියලා," යනුවෙන් තිනෙත් සුනාමි අත්දැකීම විස්තර කළේය.
සුදු පැහැති කුරුල්ලන් පැමිණ හම්බන්තොට මහලේවායේ පාවෙමින් තිබූ මළ සිරුරු ආහාරයට ගත් බවත් ඔහුගේ මතකයේ ඇත. ඒ වන විට තිනෙත් ජයසූරිය කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිසුවෙකි.
"එදා කොටේ උඩ පාවීපාවී ඉන්නකොට මට මතක් වුණා ලබන අවුරුද්දේ එකේ පංතියට ඇතුළත් වෙන නංගිලා මල්ලිලා පිළිගන්න කතාව පවත්වන්න තියෙන්නේ මට නේද කියලා. ඒ නිසා කොහොමහරි මැරෙන්නේ නැතුව ජීවිතේ බේරගන්න ඕනා කියන එකත් මට නිතර මතකයට ආවා," යනුවෙන් තිනෙත් පැවසුවේය.
එකම සොයුරිය ඇතුළු ඥාතීන් පස් දෙනෙකුට ජීවිත අහිමි වූ ගමන
වරලත් වාස්තු විද්‍යාඥවරියක් වන නිලන්ති දසනායක තිනෙත්ගේ මව වන අතර පුද්ගලික ආයතනයක කළමණාකරුවෙකු ලෙස සේවය කළ නලීන් ජයසූරිය තිනේත්ගේ පියා වේ.
කොළඹ, නුගේගොඩ ජිවත් වන ඔවුන් පවුලේ ඥාතීන් සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා හම්බන්තොටට ගොස් තිබුණේ සුනාමියට පෙර දිනයේය. සුනාමිය දා උදෑසන ඔවුන් සුදානම් වූයේ ලුණු ලේවාය නැරඹීමේ අපේක්ෂාවෙනි.
"අපි හෝටලයේ තුන්වන තට්ටුවේ හිටියේ. අපි පඩිපෙළ බහින්න කලින් දුවයි, පුතයි අනිත් දරුවෝ ටිකයි ඇහුවා අපි පඩිපෙළ බහින්නද කියලා. නැතිවුණු අක්කලා දෙන්නත් එක්ක තමයි දරුවෝ පහළට බැස්සේ," යනුවෙන් තිනෙත්ගේ මව වන නිලන්ති දසනායක පැවසුවාය.
සිය සැමියා සමග ඇය හෝටලයේ පහළ මාලයේ පිහිටි පිළිගැනීමේ කවුන්ටරය දෙසට එන විට සුනාමි රළ පහරට දරුවන් ඇතුළු සියලු දෙනා ගසාගෙන ගොස් තිබුණි.
"කොහොමහරි දරුවෝ දෙන්නා හොයාගන්න කියලා හිතාගෙන අපි හැමතැනම ඇවිද්දා. අපි හම්බන්තොට රෝහලේ ඉඳගෙන ඉන්න කොට පුදුම විදිහට මළ සිරුරු ගෙනාවා. ඒවා ගේන ගේන සැරයට අපි දෙන්නා කරන වැඩේ ගිහිල්ලා ළමයින්ගෙ මූණු බලනවා. එදා රෑ වෙනකම් දරුවෝ දෙන්නගෙන් කාවත් හමුවුණේ නෑ," යනුවෙන් ඇය දිගු සුසුමක් හෙළමින් ප්‍රකාශ කළාය.
ලුණුගම්වෙහෙර රෝහලට ද ළමුන් ගෙනවිත් ඇති බවට ලද ආරංචියකට අනුව ඔවුන් 2004 දෙසැම්බර් 27 වැනි දා ලුණුගම්වෙහෙර රෝහලට ගොස් තිබුණි. එහිදී දියණියගේ සිරුර හමුවී තිබේ. දියණියගේ සිරුර ලුණුගම්වෙහෙරේම වල දමා තවදුරටත් පුතාව සෙවීමට ඔවුන්ගේ ඊළඟ ඉලක්කය විය.
"අපි ආපහු හම්බන්තොට රෝහලට ගියා. එතන ඉස්සරහ හිටපු පොලිසිය රාලහාමි කෙනෙක් කිව්වා ඔන්න අදත් ළමයෙක්ගෙන් ගෙනාවා, ගිහින් බලන්න කියලා. අනේ අපි යනකොට පුතා ඉන්නවා. මොනවත්ම ඇඳුමක් නෑ ඇගේ. අපිට ඇති වුණේ පුදුම සතුටක්. දරුවො දෙන්නම නෑ කියලා හිතාගෙන ඉන්නකොට එක්කෙනෙක් හරි හමුවුණානේ," යනුවෙන් තිනෙත්ගේ මව පැවසුවාය.
එදා අවුරුදු හයක් වයස තිනෙත් අද වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ, ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හදාරන ධෛර්යසම්පන්න තරුණයෙකි.
'කොළඹ ආනන්දයේ තරුවක්'
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු විෂය සමගාමී කටයුතු වල දී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී ද දක්ෂතා දක්වා ඇත. 2017/ 2018 කාලේ දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ ඔහු, 2018 වසරේ දී විශිෂ්ටතම ආනන්දීය සිසුවාට හිමි සම්මානය ද හිමි කර ගත්තේය.
එමෙන්ම ඔහු ක්‍රීඩාවෙන් ද දස්කම් පා තිබේ. ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් තිනෙත් ජාතික මට්ටමේ රන් පදක්කම් හතක් සහ රිදී පදක්කම් හතරකට හිමිකම් කියයි.
"මේ ජීවිතය කියන එක්සෑම් එකේදි අපිට කාගෙවත් ප්‍රශ්න පත්තර කොපි කරලා උත්තර ලියන්න බෑ. මොකද අපි හැමෝටම හම්බෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රශ්න. ප්‍රශ්න වලින් හැමතිස්සෙම වැටෙන්න නෙමෙයි, ප්‍රශ්නයක් අවම ඒ ප්‍රශ්නයට මුහුණ දීලා නැගිටින්නෙ කොහොමද කියන එක තමයි අපි හැමතිස්සෙම හිතලා වැඩ කරන්න ඕනේ," යන්න තිනෙත් ජයසුරිය සඳහන් කළේය.
සුනාමිය කියාදුන් පාඩම
අධ්‍යාපනය ලබා ඉහළ වැටුප් ලබන වෘත්තීන් කළ ද සුනාමියෙන් පසු තිනෙත්ගේ පවුලේ සාමාජිකයන් ජීවිතය පිළිබඳව වෙනස් අයුරින් සිතන්නට පෙළඹී තිබේ.
"අපි මේ සිද්ධියෙන් පස්සේ ගොඩාක් බුදු දහමට නැඹුරු වුණා. අපි දුක් මහන්සියෙන් හම්බ කරන දේවල් අනිත් අයට බෙදා දෙනවා. මේ අවුරුද්දෙත් ගාල්ලේ දුෂ්කර පාසලක දරුවන්ට උදවු කරනවා," යනුවෙන් තිනෙත්ගේ පියා වන නලීන් ජයසූරිය කියා සිටියේය.
එමෙන්ම ඔහුගේ මව පවසන පරිදි සුනාමියෙන් දිවි අහිමි වූ දියණිය සිහිපත් වන්නට භෞතිකව නිවසේ කිසිවක් ඉතිරි කරගෙන නැත.
"දුව ජිවත් වෙන්නේ අපේ හදවතේ. දැන් එයා හිටියනම් අවුරුදු 27ක තරුණියක්. සුනාමියෙන් අපිට ජීවිතය ගැන හොඳ අවබෝධයක් ලැබුණා," යනුවෙන් තිනෙත්ගේ මව පැවසුවාය.