737 යළි ක්‍රියාත්මක කිරීමට බෝයිං සමාගම තමන්ගේම ගුවන් නියමුවන් බඳවා ගනී

Published

737 මැක්ස් යානය නැවතත් සුමට ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ගුවන් සහ අභ්‍යවකාශ කර්මාන්තයේ යෝධයෙකු වන බෝයිං සමාගම ගුවන් නියමුවන් 160 දෙනෙකු ගුවන් සමාගම්වලට බඳවා ගැනීමට ක්‍රියා කරන බව වාර්තා වේ.

නව "ගෝලීය සම්බන්ධතා නියමුවන්" දින 35 කාලයක් තුළ උපදේශකවරුන් හෝ නියමු කුටියේ නිරීක්ෂකයින් ලෙස කටයුතු කරනු ඇත.

346 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ මාරාන්තික අනතුරු දෙකකින් පසුව 2019 මාර්තු මාසයේදී ලොව පුරා තිබූ 737 මැක්ස් ගුවන් යානා ගුවන්ගත නොකිරීමට පියවර ගනු ලැබීය.

මෙම මාදිලියේ ගුවන් යානා පියාසර කිරීම නැවත ආරම්භ කළ පළමු ගුවන් සේවය බවට බ්‍රසීලයේ 'ගොල්' මෑතකදී පත්විය.

"737-8 සහ 737-9 ආරක්ෂිතව ලොව පුරා සේවයට ගෙන ඒම සඳහා අපි ගෝලීය නියාමකයින් සහ ගනුදෙනුකරුවන් සමඟ සමීපව කටයුතු කරනවා," යනුවෙන් බෝයිං සමාගම බීබීසී වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම පියවර සියලුම බෝයිං වාණිජ මාදිලියේ ගුවන් යානා ගනුදෙනුකරුවන්ට සහාය දැක්වීමේ පුළුල් වැඩසටහනක කොටසකි.

රොයිටර් පුවත් සේවය පවසන පරිදි අදාළ ගුවන් නියමුවෙකුට වාර්ෂිකව ඩොලර් ලක්ෂ දෙකක පමණ මුදලක් ගෙවන අතර, ඒ සඳහා ඩොලර් මිලියන 32ක් පමණ වනු ඇත.

මෙම වැඩසටහන යටතේ බඳවා ගන්නා නියමුවන්ට පැය දහසක උපදේශක පළපුරුද්දක් තිබිය යුතු අතර "සිදුවීම්, අනතුරු, පාඩු හෝ උල්ලංඝනයන් කිසිවක් සිදුකර නොමැති විය යුතුය." එමෙන්ම, 737 සහ අනෙකුත් බෝයිං ජෙට් යානා සඳහා බලපත්‍ර ලබා ගත යුතුය.

ගෝලීය වශයෙන් 737 මැක්ස් ගුවන් ගමන් පිළිබඳ 24/7 පුරා නිරීක්ෂණය කිරීම සහ මගීන්ට සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් සේවකයින් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙම උපාය මාර්ගයට ඇතුළත්ය.

ගුවන් ගත වීමට අවසර

ලයන් එයාර් 610 ගුවන් යානය 2018 ඔක්තෝම්බර් මසදී ජකර්තා නුවරින් ගුවන් ගත වූ පසු අනතුරට ලක්වූ අතර, ඉතියෝපියන් එයාර්ලයින් 302 ගුවන් යානය 2019 මාර්තු මාසයේදී අඩිස් අබාබා ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ පසු අනතුරට ලක්විය.

737 මැක්ස් යළිත් පියාසර කිරීමට අවසර දීමට පෙර, පියාසැරි පාලන මෘදුකාංග යාවත්කාලීන කිරීම, කාර්ය මණ්ඩල ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීම සහ අභ්‍යන්තර රැහැන් නැවත සකස් කිරීමට බෝයිං සමාගම ක්‍රියා කර තිබේ.

එය නැවත පියාසර කිරීමට අනුමැතිය ලැබුන පසු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ප්‍රධානී ස්ටීව් ඩික්සන් පැවසුවේ යානයේ ආරක්ෂාව පිළිබඳ තමා "100% ක් විශ්වාසයෙන්" සිටින බවය.

යුරෝපීය සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය තවමත් මෙම යානය නැවත පියාසර කරවීමට ඉඩ ලබා දී නොමැති නමුත් ජනවාරි මාසයේදී එය සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

දැඩි රැකියා කප්පාදුවක් සමඟ ඔක්තෝම්බර් මාසයේදී සිය සිව්වන කාර්තුමය අලාභය නිවේදනය කළ බෝයිං සමාගමට 737 යානයෙන් සුමට සේවාවක් ලබා දෙමින් නැවත කරළියට පැමිණීම අත්‍යවශ්‍ය වේ.

737 මැක්ස් යානයේ ඇණවුම් දශක දෙකකින් පසු වාර්ෂිකව අවම මට්ටමට වැටිණි.

කෝවිඩ් -19 වසංගතයත් සමග බෝයිං සමාගමේ ගැටළු උග්‍ර වී ඇති අතර එය සමස්ත ගුවන් සේවා අංශයටම බලපා තිබේ.

මේ තොරතුරුද කියවන්න: