2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ ටිකට්පත් මිල අහස උසට

    • Author, ඩේල් ජොන්සන්
    • Role, බීබීසී ක්‍රීඩා
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා එක් අසුනක් සඳහා ඇමෙරිකානු ඩොලර් 10,990ක් වැනි අතිදැවැන්ත මුදලක් අය කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

[විනිමය අනුපාත සලකා බැලීමේදී එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 3.6ක් පමණ වේ.]

පාපන්දු තරග ඉතිහාසය තුළ වැඩි ම මිලකට සාමාන්‍ය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරුණු අවස්ථාව ලෙස මෙය සැලකේ.

ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව ඉදිරිපත් කළ නිල ලේඛනවල සඳහන් වූයේ අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිල ඇමෙරිකානු ඩොලර් 1,550ක් පමණ වනු ඇති බව ය.

පසුගිය දෙසැම්බර් මාසයේදී එක් එක් රටවල නිල රසික සමාජවල සාමාජිකයින් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කළ අවස්ථාවේදී ද එහි මිල අධිකම ප්‍රවේශ පත්‍රයේ මිල දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් 8,680ක් ලෙස ය.

පසුගිය බදාදා දිනයේදී ප්‍රවේශ පත්‍ර අලෙවියේ අවසන් අදියර ආරම්භ වීමත් සමග මෙම මිල ගණන් තවත් ඉහළ ගියේ ය.

කටාර් ලෝක කුසලාන අවසන් මහා තරගයේ මිල අධිකම අසුන් සඳහා අය කෙරුණේ ඇමෙරිකානු ඩොලර් 1,604ක් වැනි මුදලකි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සිය ප්‍රවේශ පත්‍ර මිල ගණන් තීරණය කරන ආකාරය ප්‍රසිද්ධියට පත් කර නොමැති බැවින්, මෙම ගිම්හාන ඍතුවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ටිකට්පත් සඳහා වැය වන සැබෑ පිරිවැය නිශ්චිතව ම ගණනය කිරීම අපහසු වී තිබේ.

පෙර තරගාවලිවලදී පැවති වාර්තාගත ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, එක් එක් ප්‍රවේශ පත්‍ර අලෙවි අදියර ආරම්භයේදී ම මිල ගණන් වෙනස් වන ගතික මිල ආකෘතියක් ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මෙවර ක්‍රියාත්මක කරනු ලබයි.

පසුගිය වසර අවසානයේදී නිකුත් කරන ලද පළමු ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ප්‍රේක්ෂකයින් හැඳින්වූයේ රසිකයින්ට කළ "මහා පාවාදීමක්" ලෙස ය.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කළේ, ඇමෙරිකානු ඩොලර් 60ක මුදලකට සීමිත ප්‍රවේශ පත්‍ර ගණනක් ලබාගත හැකි බව ය.

ඉකුත් බදාදා දිනයේදී සාමාන්‍ය ‍රසික ප්‍රජාව වෙනුවෙන් නිල වශයෙන් ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වූ අතර, ඒ සමග ම මෙවර ක්‍රියාත්මක වන සැබෑ මිල මට්ටම් පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මතු වන්නට විය.

අවසන් මිල ගණන්

සෑම කාණ්ඩයකට ම අයත් ආසන සංඛ්‍යාව හෝ ඒවායේ නිශ්චිත මිල ගණන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නොමැතිව, සමස්ත ප්‍රවේශ පත්‍ර මිල ප්‍රතිපත්තිය පිළිබඳ නිසි ඇගයීමක් සිදු කළ නොහැක.

මේ පිළිබඳව දල අදහසක් ලබා ගැනීමට ඇති හොඳ ම ක්‍රමය නම්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිල ප්‍රවේශ පත්‍ර වෙබ් අඩවිය වෙත පිවිස තවමත් ඉතිරිව ඇති ආසන මොනවා ද සහ ඒවායේ මිල ගණන් කෙබඳු දැයි පරීක්ෂා කර බැලීමයි.

කෙසේ වෙතත් මීට වඩා මිල අධික ප්‍රවේශ පත්‍ර තිබුණේ ද නැතහොත් සහනදායී මිල ගණන් යටතේ වැඩි ආසන ගණනක් වෙන් කර තිබුණේ ද යන්න ඉන් ස්ථිරව ම තහවුරු කරගත නොහැක.

නිරීක්ෂණ අනුව, පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ආරම්භක මිල ගණන්වලට සාපේක්ෂව මේ වන විට ක්‍රියාත්මක වන විවෘත අලෙවි අදියරේදී ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍ර මිල සියයට 38 දක්වා ඉහළ ගොස් ඇත.

ඇමෙරිකානු ඩොලර් 10,990ක් ලෙස සටහන් වන පළමු කාණ්ඩයේ ප්‍රවේශ පත්‍ර මිලට අමතරව අනෙකුත් කාණ්ඩවල මිල ගණන් වෙනස් වී ඇති ආකාරය:

දෙවන කාණ්ඩය: ඇමෙරිකානු ඩොලර් 5,575 සිට ඩොලර් 7,380 දක්වා මිල සියයට 32.78කින් ඉහළ ගොස් ඇත.

තෙවන කාණ්ඩය: ඇමෙරිකානු ඩොලර් 4,185 සිට ඩොලර් 5,785 දක්වා මිල සියයට 38.23කින් ඉහළ ගොස් ඇත.

"අවසන් මොහොතේ ප්‍රවේශ පත්‍ර අලෙවිය" ආරම්භ වූ ඉකුත් බදාදා දිනයේදී, කුමන තරග සඳහා ටිකට්පත් ලබාගත හැකි ද හෝ ඒවායේ මිල ගණන් කෙබඳු ද යන්න පිළිබඳ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කල්තියා දැනුම් දීමට පියවර ගෙන නොතිබිණි.

වෙබ් අඩවියට පිවිසීමට අවස්ථාව ලැබූ පිරිසට අනාවරණ වූයේ වැඩි ම ඉල්ලුමක් පවතින ජනප්‍රිය කණ්ඩායම් ක්‍රීඩා කරන තරග සහ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග සඳහා පවතින මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ දමා ඇති බව ය.

බීබීසීය ප්‍රවේශ පත්‍ර පෝලිමට...

BBC Sport බ්‍රිතාන්‍ය වේලාවෙන් පසුගිය බදාදා පස්වරු 3.20ට පමණ, ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම සඳහා රසිකයින් රැඳී සිටි පෝලිමට එක්විය.

මඳක් රැඳී සිටින ලෙස දැක්වෙන පණිවිඩය පස්වරු 4 වන විට රතු පැහැති රවුමක් බවට පත්වෙමින් "We're almost there..." යනුවෙන් සටහන් විය.

පස්වරු 5 වන විට පෝලිමේ ඉදිරියට ම පැමිණීමට ගතවන කාලය දිස්විය. අපට පෝලිමේ ඉදිරියට පැමිණීමට තවත් මිනිත්තු දෙකක් වැනි සුළු කාලයක් තිබියදී, එකවර ම එම ඉතිරි කාලය මිනිත්තු 15ක් දක්වා ආපසු ඉහළ ගියේ ය.

අවසානයේදී ඒ වෙත පිවිසීමට අවස්ථාව හිමි වූ නමුත් දහස් සංඛ්‍යාත රසිකයින්ට මෙන් අපට ද තාක්ෂණික දෝෂයකට මුහුණ දීමට සිදු විය.

කල්වේලා ඇතිව වෙබ් අඩවියට පිවිසි රසිකයින් අතපසුවීමකින් එම සතියේ පැවැත්වුණු සුදුසුකම් ලැබීමේ තරග ජයගත් කණ්ඩායම්වල රසිකයින් වෙනුවෙන් වෙන් කර තිබූ "PMA ප්‍රවේශ පත්‍ර" ලබාගන්නා පෝලිම වෙත යොමු කර තිබිණි.

එම පෝලිම ඔස්සේ ඇතුළු වූ පරිශීලකයින්ව යොමු කෙරුණේ, අදාළ තරග සඳහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට කේතයක් ඉල්ලා සිටින පිටුවක් වෙත ය.

එහි දෝෂයක් සිදුව ඇති බව හඳුනා ගත් අවස්ථාවේ එම රසිකයින්ට සිදු වූයේ නැවත මුල සිට පෝලිමේ අගට ම ගොස් රැඳී සිටීමට ය.

ඒත් සමග වැඩි ම ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණයක් සහිත තරගයක ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට තිබූ අවස්ථා සියල්ල අහිමි වී ගියේ ය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දෝෂය සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොකළ නමුත් පස්වරු 5 වන විට වෙබ් අඩවියේ සබැඳි සියල්ල නිවැරදිව ක්‍රියාත්මක වූ බවට එම සම්මේලනය සහතික විය.

යළිත් පෝලිමට එක්වූ අවස්ථාවේදී ප්‍රවේශ පත්‍ර අලෙවි කරන ප්‍රධාන පිටුවට පිවිසීමට පැය හයකුත් මිනිත්තු 14ක කාලයක් ගතවී තිබිණි.

මූලික වටයේ පැවැත්වීමට නියමිත තරග 72න් තරග 35ක් සඳහා ප්‍රවේශ පත්‍ර ඉතිරිව ඇති බව එහි දක්වා තිබූ නමුත් අප පරීක්ෂා කරන අවස්ථාව වන විට එංගලන්තය හෝ ස්කොට්ලන්තය ක්‍රීඩා කරන තරග සඳහා මෙන් ම පිළිමළුන් පිටුදැකීමේ වටයේ කිසිදු තරගයක් සඳහා ප්‍රවේශ පත්‍ර ඉතිරිව නොතිබිණි.

සත්කාරක රටවල් හැරුණු විට ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් පසුවන රටවල් දහය අතරින් දැනට මිල දී ගැනීමට ඉතිරිව ඇත්තේ නෙදර්ලන්ත තරගයක ප්‍රවේශ පත්‍ර පමණි.

මෙම ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ඇමෙරිකානු ඩොලර් 140 සිට ඩොලර් 2,985 දක්වා පරාසයක පවතී. ප්‍රදර්ශනය කර ඇති ටිකට්පත්වල සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 358කි.

කාණ්ඩ අදියරේ තරග අතරින් නිරීක්ෂණය වූ ඉහළ ම මිලක් සහිත තරගය වන්නේ මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන සමාරම්භක තරගයයි. එහි ප්‍රවේශ පත්‍රයක මිල ඇමෙරිකානු ඩොලර් 2,985කි. ප්‍රේක්ෂකයින් 87,000ක ධාරිතාවකින් යුතු මෙම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු ප්‍රවේශ පත්‍ර ගණනක් පමණි.

මීට අමතරව, ආයතනික ආගන්තුක සත්කාර පැකේජ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, එංගලන්තය සහ පැනමාව අතර තරගය සඳහා වන සුඛෝපභෝගී කුටියක මිල ඇමෙරිකානු ඩොලර් 124,800ක් වූ බව ය. මීට ප්‍රවේශ පත්‍ර 24ක් මෙන් ම ආහාර පාන වර්ග ද ඇතුළත් වන අතර, ඒ අනුව එක් අයෙකු සඳහා වැයවන මුදල ඩොලර් 5,200කි.

තරග සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින අතර, තරග ආරම්භ වන මොහොත දක්වා ම ඕනෑ ම තරගයක් සඳහා නව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට හැකි බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන 8 වනවිටත් තරග 13ක් සඳහා ප්‍රවේශ පත්‍ර ඉතිරිව තිබූ නමුත්, ඉන් තරග 6ක ම ඉතිරිව තිබුණේ රෝද පුටු භාවිත කරන්නන් සමග පැමිණෙන සහයකයින් සඳහා වෙන්වූ ප්‍රවේශ පත්‍ර පමණි. මේවා සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ට අලෙවි කළ නොහැක.

රෝද පුටු භාවිත කරන රසිකයන්ගේ සහයකයින් සඳහා නොමිලේ ප්‍රවේශ පත්‍ර ලබා නොදීමට ෆිෆා ආයතනය තීරණය කිරීම මතභේදාත්මක තත්ත්වයකි.

මෙම ප්‍රවේශ පත්‍ර සම්පූර්ණ මුදල් ගෙවා මිල දී ගත යුතු අතර, ඇතැම් විට ඒවා එකිනෙකට යාබදව පිහිටි අසුන් නොවීමට ද ඉඩ ඇත.

තවමත් වැඩි ම ප්‍රවේශ පත්‍ර ගණනක් ඉතිරිව ඇත්තේ, ජූනි 13 වන දා පැවැත්වීමට නියමිත පැරගුවේ රාජ්‍යයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ පළමු තරගය සඳහා ය. එහි පළමු කාණ්ඩයේ අසුන් 1,406ක් පවතින අතර එක් අසුනක මිල ඇමෙරිකානු ඩොලර් 2,735කි.

බොස්නියාව සහ හර්සගොවිනාවට එරෙහි කැනඩාවේ පළමු තරගය ද සාපේක්ෂව සලකියු යුතු ප්‍රවේශ පත්‍ර ගණනක් ඉතිරිව ඇති අනෙක් එක ම තරගයයි. එහි පළමු කාණ්ඩයේ ප්‍රවේශ පත්‍ර 846ක්, එකක් ඇමෙරිකානු ඩොලර් 2,240ක මුදලකට විකිණීමට තිබේ.

පාපන්දු රසිකයින්ට ඔවුන් මිල දී ගත් ප්‍රවේශ පත්‍ර නැවත අලෙවි කිරීමට FIFA විසින් හඳුන්වා දෙනු ලැබ ඇති වේදිකාව බ්‍රහස්පතින්දා නැවත විවෘත වනු ඇත. එහිදී ගැනුම්කරුගෙන් සහ විකුණුම්කරුගෙන් 15%ක කොමිස් මුදලක් අය කරන බැවින්, එහි ඉහළ මිල ගණන් මීටත් වඩා ඉහළ යාමට ඉඩ තිබේ.