කොරෝනා වෛරසය: ආසාදිතයෙක් නිසා කොළඹ නගර සභාව අගුලු දමයි, නාගරික මන්ත්‍රීන්ට පීසීආර් පරීක්ෂණ

කොළඹ නගර සභාව

ඡායාරූප මූලාශ්‍රය, colombo.mc.gov.lk

Published

දින දාහතරක් ස්වයං නිරෝධායනය වන ලෙස කොළඹ නාගරික මන්ත්‍රී වරුන් සියලුම දෙනාට නගරාධිපතිනි රෝසි සේනානායක දැනුම් දී තිබේ.

සිකුරාදා (ඔක්තෝබර් 16) කොළඹ නගර සභාව විසින් සියලුම මන්ත්‍රීවරුන්ගේ හා සේවකයන්ගේ පීසීආර් (PCR) පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බැවින් එය සිදුකරගන්නා ලෙසත් වට්ස් ඇප් මාර්ගයෙන් සියලුම මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලික පණිවිඩයක් යොමුකරමින් නගරාධිපතිනි රෝසි සේනානායක ඉල්ලා සිටියි.

කොළඹ නගරාධිපතිනිය ද ස්වයං නිරෝධායනයට ලක්ව සිටින්නේ කොළඹ නගර සභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය. එම සේවකයා කොළඹ නගර සභාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් සමඟ ද සම්බන්ධතා පවත්වා ඇති බව පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

කොළඹ නගර සභාවේ සියලුම දෙපාර්තමේන්තු මේ වන විට කිසිවෙකුටත් පිටතට පැමිණීමට නොහැකි වන ලෙස අගුලු දමා තිබේ.

ආසාදිතයාගේ සමීපතම ආශ්‍රිතයන් සම්බන්ධයෙන් මේ වන විට පීසීආර් පරීකෂණ ආරම්භ කර තිබෙන අතර දෙවන පෙළ හා තෙවන පෙළ සම්බන්ධතා පැවැත්වූ සේවකයින් හා මන්ත්‍රී වරුන් සිකුරාදා පීසීආර් පරීකෂණ කර ගන්නා මෙන් නගරාධිපතිනිය පැවසීය.

කොරෝනා ආසාදිතයින්

ඡායාරූප මූලාශ්‍රය, Epidemology Unit SL

ඡායාරූප ශීර්ෂ වැකිය, කොරෝනා ආසාදිතයින්

"මේක ලාවට ගණන් ගන්න එපා. මේක අති භයංකර තත්වයක් තියෙන්නේ, දොස්තර විජයමුණි කිව්වා මේක පැතිරීම පළවෙනි වටයට වැඩිය ඉක්මනින් පැතිරෙනවා. ඒක නිසා තමාගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂාකරගන්න. කරුණාකරලා මේ කරුණු කාරණාවලට යොමුවෙලා ඒවා හරියට පිළිපදින ලෙස මා ඉල්ලා සිටිනවා," යනුවෙන් ඇයගේ පණිවිඩය අඩංගු හඬ පටයේ සඳහන් විය.

ආසාදිතයන් 5000 කට වැඩියි

බ්‍රහස්පතින්දා දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. එම 49 දෙනා ගෙන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලිනුත්, 36 දෙනෙකු බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන්ගේ ආශ්‍රිතයින් බවත් ඔහු පැවසීය.

ඒ අනුව මේ වන විට බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හඳුනාගත් මුළු ගණන 1,770 දක්වා ත් ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 5,219 දක්වා ඉහළ ගොස් ඇත.

රට තුළ මතු වී ඇති කොරෝනාවෛරස වසංගත තත්ත්වය හේතුවෙන් ලබන 31 දක්වා සියලුම සිනමා ශාලා වසා තැබීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස නිවේදයක් නිකුත් කරමින් පැවසීය.

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම වැනි නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් අත්සන් තැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

නව නිරෝධායන නීති
ඡායාරූප ශීර්ෂ වැකිය, නව නිරෝධායන නීති

එම නිවේදනයේ සඳහන් වූයේ එම නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් දසදහසකට නොවැඩි දඩයකුත් මාස හයක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එකක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාවක් ලැබෙන බවයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ, "සංචරණය සීමා කිරීම, නිරෝධායනය ඒ වගේම ප්‍රවාහනය වැනි කාරණා සම්බන්ධයෙන් මෙතෙක් පවතී නීති තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම ගැසට් පත්‍රය මගින් සිදුවන," බවය.

පොදු ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ සේවා ස්ථාන පවත්වාගෙන යාමේ දී අනුගමනය කළ යුතු කරුණු ද මෙවක් පටන් නීතියක් බවට පත්වන බවත් ඇමතිනිය සඳහන් කළාය.