ගිනිගත් නෞකාවේ කපිතාන්වරයා "ගින්න මැඩපැවැත්වීමට මූලික පියවර ගෙන නැහැ"

Published

එම්ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය නෞකාවේ ගින්න මැඩපැවැත්වීම පිණිස මූලික පියවර නොගෙන, ආපදා සංඥා නිකුත් නොකර ගිනිගත් තෙල් නැව අත්හැර දමා ඇතැයි රජයේ නීතිඥ දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය.

රජයේ නීතිඥ දිලීප පීරිස් තවදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ, නාවික හමුදාවට ලැබුණු ආපදා සංඥා නිකුත් කර තිබුණේ වෙනත් නෞකාවක් මගින් වන අතර, ගිනිගත් නැව ඉතා නවීන නෞකාවක් බැවින් එහි ගිනි නිවීමේ පහසුකම් මෙන්ම ආපදා සංඥා නිකුත්කිරීමේ උපකරණ තිබුනත් ඒවා උපයෝගී කරගෙන නොමැති බවය.

ජීවිතාරක්ෂක බෝට්ටුවල ද ගිනි නිවීමේ හා ආපදා සංඥා නිකුත් කිරීමේ උපකරණ තිබුණත් කාර්යමණ්ඩලය එම උපකරණ භාවිත කර නොමැති බවත් ඔහු පැවසීය.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පීඩාවට පත් එම්ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

රජයේ නීතිඥ දිලීප පීරිස් අධිකරණයට තවදුරටත් දන්වා සිටියේ ඉන්ධන කාන්දුවීම එම සාගර ප්‍රදේශයේ සාගර ජීවීන්ට බලපානු ඇති බවය.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ නාවික සැතපුමක් දක්වා පටු ප්‍රදේශයක තෙල් පැල්ලමක් නිරීක්ෂණය කර ඇති නමුත් නෞකාවෙන් බොරතෙල් කාන්දුවක් සිදු නොවූ බවයි.

"මීටර 10 ත් 30 ත් අතර පළලකින් යුත් නාවික සැතපුමක් පමණ දිගකින් යුත් තෙල් පැල්ලමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 වර්ගයේ ගුවන් යානාවක් මගින් නිරීක්‍ෂණය කරන ලද අතර, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානාව යොදාගෙන එම තෙල් පැල්ලම පිහිටන මුහුදු ප්‍රදේශයට විශේෂිත රසායනික ද්‍රව්‍යක් ඉසීමට කටයුතු කරන ලදි. තවද, මෙම තෙල් පැල්ලමද නෞකාවෙන් බොරතෙල් කාන්දු වීමක් නිසා සිදු වූවක් නොවන බවට විශ්වාස කෙරේ," යනුවෙන් නාවික හමුදාව නිකුත්කළ නිවේදනයක දැක්විණ.

නාවික හමුදාව තවදුරටත් ප්‍රකාශකළේ මේ වන විට නෞකාවේ මූලික විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වී ඇති අතර නෞකාවේ එන්ජින් කාමරය සහ පිටුපස පිහිටි අනෙකුත් කොටස් තුළ ගිනි ගැනීම හේතුවෙන් විෂ වායූන් ඇති වී තිබීම මත එම විෂ වායූන් ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවය.

පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත වර්ධනය වූ නෞකාවේ ගිනි ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් ආපදා කළමණාකරන කණ්ඩායම්හි සාර්ථක අඛණ්ඩ මෙහෙයුම් හමුවේ මේ වන විට මුලුමනින්ම පාලනය වී ඇති අතර නෞකාවේ ගබඩා කර ඇති බොරතෙල් සංචිතයන් ඉතා සුරක්‍ෂිතව පවතින බවට නිරීක්‍ෂණය කළ බවත් නාවික හමුදාව පවසයි.

ආපදාවට ලක් වූ නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 50 ක් පමණ (කිලෝමීටර 93 ක් පමණ) ගැඹුරු මුහුදේ රඳවාගෙන එම මුහුදු ප්‍රදේශයේ පවතින රළු ස්වභාවය ද හමුවේ මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතී.