ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සී.වී විග්නේශ්වරන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට මනූෂගෙන් විරෝධය
අද (අගෝස්තු 21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව ලෙස ඊයේ සිදු කළ ප්‍රකාශයකට විරෝධය පෑමක් සිදුවිය.
නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා රැස්වීමේදී පත්වූ කථානායකට සුබපැතුම් එක් කරමින් උතුරු පළාත් හිටපු මහඇමති සී.වී විග්නේශ්වරන් කළ ප්‍රකාශයේ "දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව" හැටියට සදහන්ව ඇති බැවින් එය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදි බව සමගි ජන බලවේගයෙන් පත්වූ මන්ත්‍රී මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී රීති ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
''අපි පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙද්දී මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ වගේම ඒ සඳහා මුදලින් හෝ අනියමින් අධාර අනුබල දීම සිදු කරන්නේ නෑ කියලා දිවුරුවා. නමුත් විග්නේශ්වරන් මන්ත්‍රීවරයා මේ රටේ යුද්ධය අවසන්කරලා, මේ රටේ නිජබිම් සංකල්පය ඇතුළු සංකල්ප පැත්තකට දාලා මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් විදියට පිළිගන්න තැනකට මේ රටම ඇවිල්ලා තියෙන වෙලාවක මේ ගරු පාර්ලිමේන්තුවේ නැවත වතාවක් දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව හැටියට මේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා," යැයි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේය.
"ඒක මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි. තම තමන්ට මත තියෙන්න පුළුවන්. නමුත් ඒ මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි. කරුණාකරලා ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න." යැයි ද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
කථානායක පැවසුවේ තමා ඒ ගැන සොයා බලන බවය.
ඊයේ පත්වූ කථානායකට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් සුබපැතුම් එක්කරමින් ප්‍රකාශ කිරීමේදී සී.වී විග්නේශ්වරන් තම කතාව ආරම්භ කළේ "ලොවේ මේ වන විට භාවිතා වන පැරණිම භාෂාවෙන්, සහ මේ රටේ පළමුවන ස්වදේශිකයන්ගේ භාෂාව පසුව සම්බන්ධක භාෂාව වන මාගේ මවු භාෂාවෙන් ඔබට ආචාර කරමි" යනුවෙනි.
එක්සත් ජාතික පක්ෂය සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක් ලෙස ප්‍රසිද්ධ අතර එයින් වෙන්වී අලුතෙන් පිහිටුවාගත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙම ස්ථාවරය ගැනීම පක්ෂය අලුත් මාවතකට යොමුවීමක් දැයි විමල්සිලිමත් වන බව ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති.
මේ ගැනත් කියවන්න: