ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
1987 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතන සිදු කළ දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ අරන්තලාව ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි.
නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන අය එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
දෙමළ කොටි කැරලිකරුවන් විසින් 1987 වසරේ ජුනි මස 02 වනදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේ 31 නමක් සහ සිවිල් වැසියන් පිරිසක් ඝාතනයට ලක් වූ බව බුද්ධසාර හිමියෝ සිය පෙත්සමේ සඳහන් කරති.
අරන්තලාව ප්‍රහාරයට සම්බන්ධ බොහෝ දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටින බව පවසන පෙත්සම්කාර හිමියන් ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් පෙන්වා දෙති.
උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, මෙම සිද්ධියට වගකිවයුතු, දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසය.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් කෝටි 2ක වන්දියක් රජයෙන් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද උන්වහන්සේ වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
අරන්තලාවේ සිදුවූයේ කුමක්ද?
1987 ජුනි 02 වෙනි දින එල්ටීටී සංවිධානය විසින්, උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු තිස් එක් නමක් අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී ඝාතනය කරන ලදි.
ප්‍රහාරයෙන් දරුණු තුවාල ලැබූ එක් හිමිනමක් ආබාධිත බවට පත්වූ අතර, තවත් භික්ෂූන් වහන්සේ තුන් නමක් ද බරපතල තුවාල ලැබූහ.
එය, දශක තුනකට ආසන්න සිවිල් යුද්ධය සමයේ කොටි කැරලිකරුවන් විසින් සිදු කරන ලද දරුණුම සංහාරයක් ලෙසින් සැලකේ.
එම ඝාතනය සඳහා අණ දුන් බවට එවක එල්ටීටී සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු ලෙස සැලකුණු කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන්ට චෝදනා එල්ල වී තිබේ.
අරන්තලාව භික්ෂු සංහාරය, එල්ටීටීඊ වෙත භාර වූ 600 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීම සහ 'හමුදා භටයින් දහස් ගණනක් මරා දැමූ' බවට ඔහු කළ ප්‍රකාශය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන මෙන් තවත් ඉල්ලීම් මතුවෙමින් පවතී.
ඉහත කී ප්‍රකාශය තුළින් කරුණා අම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වරදක් සිදුකර ඇති බව, කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයකු වන බෝසෙත් කලෙහේ පතිරණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරනු තිබෙන පෙත්සමක දැක්වේ.
කියවන්න: