ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින 'සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය කිරීම රටට අවාසියි'
- Author, කුමුදු ජයවර්ධන
- Role, BBC සිංහල
- Published
කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් පිටව යාමට නොහැකිව විදේශිකයින් රැසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිති.
එම සංචාරකයින් අතර විවිධ ආකාරයේ වීසා අවසර පත් ලැබ ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයෝ වෙති.
විදේශීය පුරවැසිභාවය ලබා, ද්විත්ව පුරවැසිභාවය ලබා නොගත් ශ්‍රී ලාංකිකයෝ ද ඒ අතර සිටිති.
මෙම සංචාරකයින්ගේ වීසා කාල සීමාව මේ වන විට ජූලි 11 වන දා තෙක් දීර්ඝ කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි.
කෙසේ වෙතත්, එලෙස වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගිය විදේශිකයින්ගෙන් රුපියල් 14,000කට අධික මුදලක් අය කර ඇති බව බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහකාර පාලක (වීසා) ගයාන් මිලින්ද ප්‍රකාශ කළේ, "වීසා කාලය දීර්ඝ කරන බව නිවේදනය කළ ද, නොමිලේ එය සිදුකරන බව කිසි ම තැනක කියා නොමැති," බවය.
"මාස තුනකට වඩා කාලයක් ඉඳල නම් ඒ අයගෙන් රුපියල් 10000ක බද්දක් අය කෙරෙන," බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
අදාළ ගාස්තු ගෙවා වීසා අවසරය පිටසන් කර ගැනීම සඳහා ක්‍රම දෙකක් අනුගමනය කළ හැකි බව ගයාන් මිලින්ද පැවසීය.
- ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ගාස්තු ගෙවා වීසා අවසරය ලබා ගැනීම.
- රටින් පිටත්ව යන දිනයේදී ගුවන් තොටුපොළේදී අදාළ ගාස්තු ගෙවා වීසා අවසරය ලබා ගැනීම.
"මේ ඕන ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. කොහොම වුණත් එයාලට වීසා ගාස්තුව ගෙවන්න වෙනවා," ගයාන් මිලින්ද වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, "2020 මාර්තු 7 දින සිට 2020 ජූලි 11 දින අතර කාලයේදී කල් ඉකුත් වන සියලු ම වීසා දඩ මුදල් අය කිරීමෙන් නිදහස් වන," බවය.
සිය කැමැත්තෙන් තොරව හුදෙක් කොරෝනාවෛරසය හේතුවෙන් ගුවන් ගමන් ඇණහිටීම නිසා සිරවී සිටින ඔවුන්ගෙන් වීසා දීර්ඝ කිරීම සඳහා ගාස්තු අය කිරීම අසාධාරණ බව ඇතැමුන්ගේ අදහස වී තිබේ.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වමින් සුනිල් අත්තනායක නමැත්තෙකු සඳහන් කර ඇත්තේ, "මේ ගැන සොයා බලා ඒ අසාධාරණ ලෙසට අය කළ මුදල් නැවත ඔවුන් වෙත ලබා දෙන්න. මන්ද ඵම විදේශිකයන්ට ඔවුන්ගේ මේ අසීරු අවස්ථාවේ රටක් වශයෙන් ලබාදෙන සහනය අනාගතයේ අප රට සංචාරක ක්‍ෂේත්‍රයේ විශ්වාසයක් ඇති කරලීමට හේතු වන බැව් නොරහසක්," යනුවෙනි.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ආචාර්ය පියවි විජේවර්ධන පැවසුවේ, සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින්ගෙන් වීසා ගාස්තු අය කිරීමේදී නම්‍යශීලීත්වයකින් කටයුතු කිරීම දීර්ඝ කාලීනව වාසිසහගත වනු ඇති බවය.
"වීසා ගාස්තු අය කර ගැනීමේදී ආගමික සාමාජිකයින්ට සහ අධ්‍යාපනික කටයුතු සඳහා පැමිණි අයට යම් සහන සලසා තිබීම අගය කළ හැකියි. ඒත් සංචාරකයින් ලෙස මෙරටට පැමිණි අය ගැන නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. මොක ද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මේ හරහා වැරදි ආකල්පයක් නිර්මාණය වීම සුදුසු නැහැ. ගොඩක් වෙලාවට සංචාරකයෝ මධ්‍යම පන්තිය නියෝජනය කරන්නේ. ඔවුන් මේ වෙලාවේ වෙනත් රටක මොන වගේ තත්ත්වයක සිටිනවා ද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට යම් සහනයක් සැලසුවොත් සංචාරක කර්මාන්තයේ අනාගතයට වාසිදායක වෙයි," ආචාර්ය පියවි විජේවර්ධනගේ අදහසයි.
මේ අතර, රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවයට පැවසුවේ, "ශ්‍රී ලංකාවේ සිරවී සිටින සංචාරකයින් ඇතුළු විදේශිකයින්ගෙන් වීසා ගාස්තු අය නොකර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු" බවය.
"මම දන්න විදිහට විදේශිකයින් 20,000ක් විතර ශ්‍රී ලංකාවේ සිටිනවා ඔවුන්ගේ මව් රටවලට යන්න විදිහක් නැතුව. මේ වගේ වෙලාවක ඔවුන්ගෙන් වීසා ගාස්තු අය නොකර ඔවුන් රැක බලාගත්තොත් ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන් තුළ විශේෂ ගෞරවයක් ඇති වෙනවා. ඔවුන් තමා ලෝකයට පණිවුඩය ගෙනයන්නේ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳව. ඔවුන්ගෙන් වීසා ගාස්තු වශයෙන් අය කරන මුදලින් රජයට විශාල ආදායමක් ලබා ගන්නත් බෑ. ඒ නිසා හොඳ ම දේ අනාගතයේ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන ඔවුන්ට නොමිලේ වීසා නිකුත් කිරීමයි," මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පැවසීය.
බීබීසී සිංහල සේවය කළ විමසුමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යංශය එක්ව වීසා ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් තීරණ ගන්නා බවය.
මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.