ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ගේ පරිගණකය රස පරීක්ෂක වෙත - අධිකරණ නියෝගයක්
කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බව පැවසෙන සිද්ධියට අදාළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව 'සන්ඩේ ඔබ්සවර්' පුවත්පතේ හිටපු සංස්කාරකවරිය වන දරීෂා බැස්ටියන්ට අයත් ලැප්ටොප් පරිගණකයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, එම පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අඟහරුවාදා (ජූනි 16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කැළුම් කරුණාරත්න, අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඉකුත් 09 වෙනිදා මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ට අයත් ලැප්ටොප් පරිගණකයක් සිය භාරයට ගත් බව' අධිකරණයට කියා සිටියේය.
මාධ්‍යවේදිනියගේ එම පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කරන ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලීමක් ද කළේය.
එම නඩු විභාගයේ දී දරීෂා බැස්ටියන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ශිරාස් නූර්දීන් බීබීසි සිංහල සේවය විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය ජුනි 04 වෙනිදා යළි පැමිණ සිය සේවාදායිකාවගේ නිවසට ඇතුළු වී යම් කිසි කාලයක් නිවසේ ගත කර ඇති අතර, එකී කාලය තුළ ඔවුන් මාධ්‍යවේදිනියගේ පරිගණකය පරීක්ෂාවට ලක් කර ඇති හෙයින් එහි තිබුණ දත්ත වෙනස් කිරීමේ හැකියාවක් පොලිස් නිලධාරීන් සතු වූ බවට සැකයක් මතුව ඇතැයි" තමා අධිකරණය හමුවේ කියාසිටී බව සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ ලැප්ටොප් පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට නියෝග කළාය.
මීට අමතරව ජූනි මස 04 සිට 10 වන දා දක්වා කාල සීමාව තුළ අදාළ පරිගණකය තුළ අන්තර්ගත දත්ත කිසියම් වෙනස් කිරීමකට භාජනය වී තිබේ දැයි යන්න සොයා බලා අතිරේක වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත කරන ලද නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ නඩුවේ සැකකාරිය වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස්ට අයත් ජංගම දුරකතනය විශ්ලේෂණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් එහි විශ්ලේෂණ කටයුතු අවසන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඊට අදාළ වාර්තාව කැදවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියහ.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තා විමර්ශන අවසන් වී තිබේ නම් ඒවා අධිකරණය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් රජයේ රස පරික්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමු කළාය.
අනතුරුව පැමිණිල්ල ජූලි මස 21 වෙනිදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.