ශ්‍රී ලංකාව: "රෝග බෝ කළ හැකි" නව මදුරු විශේෂයක්

Cx.sp near infula mosquito
ඡායාරූප ශීර්ෂ වැකිය, Cx.sp near infula මදුරුවා
Published

රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

කියුලෙක්ස් (Culex) ගණයට අයත් 'near inful' ලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.

ජැපනීස් එන්සෙපලයීටීස් හෙවත් මොළයේ උණ බෝ කරන Culex infula නැමැති මදුරු විශේෂයට බොහෝ සමානකම් දක්වන Cx.sp near infula ලෙස හඳුන්වන නව මදුරු විශේෂය ද වෙනත් ජීවීන්ගේ රුධිරය බොති.

''1998 දී ඉන්දියාවේ කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා Culex infula මදුරුවා ජැපනීස් එන්සෙපලයීටීස් වාහකයෙක් බව. ඒක නිසා Cx.sp near infula කියන මදුරුවා ශ්‍රී ලංකාවේ ඉන්න බවට කළ සොයා ගැනීමේ වැදගත්කමක් තියෙනවා. මෙයත් බොහෝ දුරට ඉදිරියේ දී රෝග වාහකයෙක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා," යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

මෙම සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මදුරු විශේෂ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

'උගුලට හසුවූ හැටි'

රෝග වාහකයන් විය හැකි මදුරු විශේෂ හඳුනා ගැනීමේ වැඩසටහනක් 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් ආරම්භ විය.

Cx.sp near infula mosquito
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ගවයෙකු උගුලක් ලෙස යොදා ගැනීම'

එහි දී මදුරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා උගුල් වර්ග හතරක් යොදා ගැනීමට කටයුතු කර තිබිණි.

  • ගවයෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Cattle baited trap
  • මිනිසුන් උගුලක් ලෙස යොදා ගැනීම - Human baited night collection
  • සුනඛයෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Dog baited trap
  • කුරුල්ලෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Bird baited trap

දිවා සහ රාත්‍රි කාලයේ දී අඹේපුස්සේ කරන ලද පරීක්ෂණයේ දී විශේෂ 35කට අයත් මදුරුවන් 2815ක් උගුලට හසු වී තිබේ.

ඒ අතර, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ Cx.sp near infula විශේෂයට අයත් මදුරුවන් හය දෙනෙකු ද සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම නව මදුරු විශේෂය ගැන වේවැල්දෙනිය ප්‍රදේශයෙන් ද මේ වන විට වාර්තා ලැබී ඇත.

Cx.sp near infula mosquito
Cx.sp near infula mosquito

වේවැල්දෙනියේ සිදුකරන ලද පර්යේෂණවල දී විශේෂ 29කට අයත් මදුරුවන් 1883 දෙනෙකු අල්ලා ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකු Cx.sp near infula විශේෂයට අයත්ය.

අඹේපුස්ස සහ වේවැල්දෙනිය යන ප්‍රදේශවලින් මේ දක්වා සොයාගත් Cx.sp near infula විශේෂයට අයත් මදුරුවන් 19 දෙනාගෙන් 12 දෙනෙකුම අසු වී තිබුණේ කුකුළෙකු උගුල ලෙස යොදා ගත් අවස්ථාවේ දීය.

එබැවින් නව මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.

මේ තොරතුරුද කියවන්න:

නව මදුරුවාගේ ලක්ෂණ

නව මදුරු විශේෂය වෙන්කර හඳුනාගැනීමට උපයෝගී වන ප්‍රධාන බාහිර ලක්ෂණ දෙකක් ඇත.

ඉන් එක් ලක්ෂණයක් නම් මදුරුවාගේ පියාපත්වල 'Pepper salt structure' ලෙස හඳුන්වන "ගම්මිරිස් සහ ලුණු කුඩු ඉසින විට දක්නට ලැබෙන ස්වභාවයකි."

Cx.sp near infula mosquito
ඡායාරූප ශීර්ෂ වැකිය, Cx.sp near infula මදුරුවා ප්‍රමාණයෙන් මිලිමීටර 2-3ක් පමණ වේ.

අනෙක් ලක්ෂණය වන්නේ එම මදුරුවාගේ පෘෂ්ඨයේ සුදු පැහැති ඊ හිස් වැනි සළකුණු දක්නට ලැබීමය.

මීට අමතරව අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට පාදවල සහ ශුන්ඩාවේ ද විශේෂ ලක්ෂණ දැකිය හැකිය.

Cx.sp near infula මදුරුවා ප්‍රමාණයෙන් මිලිමීටර 2-3ක් පමණ වන අතර, රාත්‍රි කාලයේදී වැඩි වශයෙන් දෂ්ට කරන බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් හඳුනාගෙන තිබේ.

මෙම මදුරු විශේෂය පළමු වරට වාර්තාවී ඇත්තේ 1966 වසරේ මධ්‍යම අප්‍රිකාවට අයත් ඇන්ගෝලා රාජ්‍යයෙනි. පසුව තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද වාර්තා වී ඇත.

මදුරුවන් මගින් ශ්‍රී ලංකාවේ පැතිරෙන රෝග

මදුරුවන් මගින් ශ්‍රී ලංකාවේ වසංගත තත්වයට පත්ව ඇති ප්‍රධාන රෝගය ඩෙංගු රෝගයයි.

2019 වසරේ දී ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 103,362ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ, වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ දැක්වේ. (2018 වසරේ වාර්තා වුයේ ඩෙංගු රෝගීන් 51,659ක් පමණි).

Cx.sp near infula mosquito

ඊට අමතරව මැලේරියාව, බරවා, ජැපනීස් එන්සෙපලයීටීස් සහ චිකන් ගුන්යා යන රෝග බෝ කරන වාහකයන් වන්නේද මදුරුවන්ය.

කියුලෙක්ස් (Culex) ඝනයට අයත් මදුරු විශේෂ පහක් ජැපනීස් එන්සෙපලයීටීස් රෝග වාහකයෙකු ලෙසද තවත් විශේෂයක් නාගරික බරවා රෝගය ඇති කිරීමට ද හේතු වේ.

එබැවින් එම ගණයටම අයත් නව විශේෂය ගැන ද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ කීට විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ යන අයගේ උපදෙස් මත වැඩිදුර පර්යේෂණ සිදු කෙරේ.

පී රණසිංහ, ගයාන් කුමාරසිංහ, නලීන් ජයසිංහ, ප්‍රමිත රංගන එච් එම් සෝමසිරි, වෛද්‍ය පුෂ්පිකා සමරකෝන් සහ වෛද්‍ය හරේන්ද්‍ර මල්ලවාරච්චි යන සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු මෙම පර්යේෂණ කණ්ඩායමට ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව මදුරු විශේෂය ගැන විදේශ රටවල ද සහය ඇතිව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

තවත් තොරතුරු: