ව්‍යවස්ථාවට විජේදාස යෝජනා: මතවාද "අරගල ලෙස පාර්ලිමේන්තුවෙන් එළියට" කැඳවීමක් ද?

විජේදාස රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 6

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ යෝජනා ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ යෝජනා දෙකක් ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජය තුළ ප්‍රමුඛ සංවාදයක් බවට පත්ව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සහ 22 සංශෝධන ලෙස මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා දැනටමත් ගැසට් පත්‍රිකා මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එයින් 21 වැනි සංශෝධනයට අදාළ පත්‍රිකාවෙන් දැනට බල පැවැත්වෙන පාර්ලිමේන්තු නියෝජන ක්‍රමයේ සංශෝධනයක් ද,22 වැනි සංශෝධනයට අදාළ පත්‍රිකාව මගින් ජනාධිපති ධූරයට අයත් බලතල සංශෝධනයක් ද යෝජනා කෙරේ.

එම යෝජනා දෙකෙන්, 21 වැනි සංශෝධනයට අදාළ යෝජනාව මගින් ඉදිරිපත් කෙරෙන දැනට බල පැවැත්වෙන පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය සංශෝධනය කරනු ලැබීම් ප්‍රධාන දහරාවට අයත් නොවන සුළු දේශපාලන පක්ෂ සහ සංවිධානවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වගන්තියේ (6) ඡේදයේ (අ) උප වගන්තිය අනුව යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමටනම්, ඔවුන් අදාළ ඡන්ද කොට්ඨාසයේ දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 5%කට නොඅඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුව ඇත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් යෝජනා කරනු ලබන්නේ එම සංඛ්‍යාව 12.5%ක් තෙක් ඉහළ දමන ලෙසය.

විජේදාස ඉල්ලීම

ව්‍යවස්ථාව

මන්ත්‍රීවරයා මෙසේ යෝජනා කරයි.

"99 වන ව්‍යවස්ථාවේ (6) ඡේදයේ (අ)උප ඡේදයේ සඳහන් "මුළු ඡන්ද සංඛ්‍යාවෙන් විස්සෙන් එකකට අඩු ඡන්ද සංඛ්‍යාවක්" යන වචන ඉවත් කොට ඒ වෙනුවට "මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකකට අඩු ඡන්ද සංඛ්‍යාවක්" යන වචන ආදේශ කරමින් සංශෝධනය කරනු ලැබේ"

මන්ත්‍රීවරයා එමගින් යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නුසුදුසු කෙරෙන ඡන්ද ප්‍රතිශතය 12.5% ක් බවට පත් කරන ලෙසය.

සිය යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී කරුණු පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ, වර්තමාන ව්‍යවස්ථාව ආරම්භයේ දී 12.5% ක මට්ටමක පැවති අවම ඡන්ද ප්‍රතිශතය 1988 ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අෂ්රොෆ් ගේ ඉල්ලීමක් අනුව 5%ක් බවට පත් කරන ලද බවය.

"1988 දෙසැම්බර් මාසයේ 19 වෙනිදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුණා. ඊට ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතාට එම්.එච්.එම්. අෂ්රෆ් මහතා විසින් ඉදිරිපත් කළා යෝජනාවක් - ඔහුගේ ජයග්‍රහණය සහතික වීමට මුස්ලිම් ජනයාගේ ඡන්ද ලබාදීමට නම්,15 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර දෙන්න කියල" විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.

මහ පක්ෂ සහ සුළු පක්ෂ

"ප්‍රධාන දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුවේ බහුතර බලය පවත්වා ගැනීමට අවශ්‍ය මන්ත්‍රීධූර 113 ලබාගැනීමට නොහැකි වීම නිසා, සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් හත් අට දෙනෙකුගේ සහයෝගය ලබා ගන්න වෙනවා. එතකොට ඒ මහ පක්ෂ සුළු පක්ෂවල අතකොළුවක් බවට පත්වෙනවා" ඔහු සිය යෝජනාව ඉදිරිපත් කිරීමට පසුබිම් වූ දේශපාලන පසුබිම විස්තර කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

විජේදාස රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයේ අධිකරණ ඇමතිවරයා වූ පා.ම.විජේදාස රාජපක්ෂ 19 වෙනි සංශෝධනය ගෙන ඒම සඳහා දැඩි ප්‍රයත්නයක නිරත විය.

ප්‍රජාතන්ත්‍රීය අයිතියක්

එහෙත් දැනට බලපැවැත්වෙන මැතිවරණ නීතිය අනුව අවම සීමාව 5% ක මට්ටමක පවත්වා ගෙන යනු ලබන්නේ ප්‍රධාන දහරාවේ නොවන දේශපාලන පක්ෂ සහ විකල්ප කණ්ඩායම් වලටද ව්‍යවස්ථාදායකය තුළ ප්‍රජාතන්ත්‍රීය නියෝජනයක් ලබා දීමේ සමාජයීය උවමනාව අනුව බව මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී 'පැෆ්රල්' මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.

"විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක යෝජනාවක් මගින් ඔහු යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබීමට දැනට බලපැවැත්වෙන 5% අවම ඡන්ද සීමාව 12%ක් තෙක් වැඩිකරන ලෙසයි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ මුල් අවස්ථාවේ තිබුණේත් 12.5% ක අවම ඡන්ද ප්‍රමාණයක සීමාවක්. ඒත් පසුව වෙනත් දේශපාලන පක්ෂවලින් ලද ඉල්ලීම අනුවයි - එය 5% ක මට්ටමකට ගෙනාවේ" පැෆරල් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දැනට දේශපාලන පක්ෂ හැත්තෑවකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කරනු ලැබ ඇතැයි ප්‍රකාශ කළ රෝහණ හෙට්ටිආරච්චි, ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග වැදීම පිළිබඳව පසුගිය දිනවල සමාජ කතිකාවක් පැවති බවද සිහිපත් කළේය.

"උදාහරණයක් විදියට පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයන් රාශියක් ඉදිරිපත්වීමත් සමඟ ඡන්ද පත්‍රිකාව අඩි දෙකකටත් වඩා දිගවීම ගැන සමාජය කතා කළා. එවැනි ප්‍රවණතා පාලනයට විධිමත් ක්‍රියාමාර්ග අවශ්‍ය කරන නමුත්, කුඩා දේශපාලන පක්ෂ සහ ඇතැම් ජනවාර්ගික සහ ප්‍රාදේශීය කණ්ඩායම්වලට පාර්ලිමේන්තුව තුළ නියෝජනය සඳහා ඇති ඉඩකඩ අහුරාලන යෝජනා ඊට නිසි විසඳුම නොවෙයි" අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

"අනිත් අතින් මෙවැනි යෝජනාවක් ගෙන එනවා නම්, එමගින් කොන් වෙන සමාජ-දේශපාලන කණ්ඩායම්වලට ජාතික ලැයිස්තුව තුළින් හෝ නියෝජනයක් සහතික කරනු ලැබීම අනිවාර්ය අවශ්‍යතාවක් වෙනවා"

"ජාතික ලැයිස්තුව පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් නොලබන කණ්ඩායම් සහ වෘත්තීයවේදීන්ට නියෝජනයක් ලබාදීමට නොව, පසුගිය කාලය පුරාම පාවිච්චි කරලා තියෙන්නේ පරාජිත අපේක්ෂකයන් සහ සිය ආධාරකරුවන් පාර්ලිමේන්තුවට ඇතුල්කර ගැනීමට" බවද 'පැෆ්රල්' හි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

රෝහණ හෙට්ටිආරච්චි

ඡායාරූප මූලාශ්‍රය, ROHANA HETTIARACHCHI/FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, පැෆරල් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය බලන විට දේශපාලනඥයන් ඒවා ගෙනැවිත් තිබෙන්නේ දිගුකාලීන අරමුණු හෝ සැලැසුම් අනුව නොව, ඒ ඒ අවස්ථාවන්හි "දේශපාලනඥයන්ගේ වෙනත් උවමනා එපාකම් අනුවය" යන්න ඔහුගේ විනිශ්චය වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල මෙසේ කියා සිටියේය.

"මං පොර වීමේ" වැඩක්

"19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විජේදාස රාජපක්‍ෂයි. එම සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් විශාල වැඩ කොටසක් කරපු විජේදාස රාජපක්‍ෂ විසින්ම අද 19ට පස්ස හරවනවා. ඒ නිසා අපි එය දකින්නේ විජේදාසගේ ගෝත්‍රික මෙන්ම "මං පොර වීමේ" වැඩක් ලෙසයි. ඒ වගේම ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල දී ජනතාවට වග කියන ජනතාවාදී ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරන බවයි. නමුත් විජේදාස රාජපක්‍ෂ ඉන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ පැත්තේ"

එම ස්ථාවරය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගෙන් වැඩිදුර විමසීමක් කළ විට මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

"විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ යෝජනා සම්මත වීමට අති ඉඩකඩ අඩුයි. මොකද? ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂවල සහයෝගයවත් ඊට ලැබීම සැක සහිත නිසා. නමුත් මෙය සම්මත වුනොත්, එය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. වර්තමාන ව්‍යවස්ථාව සම්මත කරපු මුල්කාලයේ තිබුණේත් 12.5% ක නීතිය තමයි. ඒත් දේශපාලන සටන්, තරුණ කොමිසන් සභාවේ වාර්තාවේ නිර්දේශ සහ කුඩා දේශපාලන පක්ෂවල ඉල්ලීම් ආදිය සැලකිල්ලට ගැනීම නිසයි එම මට්ටම 5% ක් දක්වා පහත දැමීමට සිදු වුණේ"

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

(පවතින සමානුපාතික ක්‍රමය තුළ පවා සුළු පක්‍ෂවලට අසාධාරණයක් වෙන බව පවසමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා පළකළ ට්විටර් පණිවුඩයක්)

අරගලය පාරට එයිද?

දැනට බල පැවැත්වෙන සමානුපාතික නියෝජන ක්‍රමය තුළ පවා ඇතැම් දේශපාලන පක්ෂ ලබන ඡන්ද ප්‍රමාණය සහ ඔවුන්ට ලැබෙන මන්ත්‍රීධූර සංඛ්‍යාවේ අසාධාරණ වෙනසක් පවතින අතරවාරයේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ යෝජනාව මගින් සිදු කෙරෙන්නේ නියෝජන ක්‍රමය යළිත් ආපසු හැරවීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ තක්සේරුව ය.

"මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම මගින් ඔහු බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරයා පිනවීම මිස වෙනත් දෙයක් නොවෙයි. එහෙත් එමගින් ඇති කෙරෙන අනතුර බරපතලයි. රටේ විවිධ මතවාද පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන්නේ නැත්නම්, ඒවා පාර්ලිමේන්තුවෙන් පිටත එළියේ විද්‍යමාන වීම නවත්වන්න බැහැ. ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවෙන් විසඳා ගන්න ඉඩකඩ නැත්නම්, ඒවා දේශපාලන අරගල හැටියට මතුවෙන්න ඉඩකඩ තියෙනවා"

යම් හෙයකින්, මෙම යෝජනා සම්මත වුනොත් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය තුළ ශ්‍රී ලංකාව පහළට වැටීම වළක්වන්න බැරි වෙනවා" බිමල් රත්නායක මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීමක් ද කරයි.

බිමල් රත්නායක

ඡායාරූප මූලාශ්‍රය, Bimal Rathnayake

ඡායාරූප ශීර්ෂ වැකිය, "විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ යෝජනා සම්මත වීමට අති ඉඩකඩ අඩුයි"

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දහරාවට අයත් නොවන සියලු දේශපාලන පක්ෂ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ යෝජනා සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කර ඇත.

ජනාධිපති නීතිඥයකු වන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීම තේරුම්ගත නොහැකි බව ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් පවසයි.

"විරුද්ධව සටන් කරනවා"

"ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ යෝජනාවට විරුද්ධයි. අපි ඊට විරුද්ධව අනිවාර්යෙන්ම සටන් වදිනවා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කරන්න විතරක් නොවෙයි,ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබා දීමටයි" ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කරන සුළු ජාතිකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ රටේ එකමුතුභාවය වෙනුවෙන් කටයුතු කරන අතර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මගින් එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කෙරෙන බව සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුද්දීන් පවසයි.

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ අවම පාර්ලිමේන්තු නියෝජනය 5% ක මට්ටමට ගෙනෙන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ වැනි ප්‍රධාන දහරාවේ නොවන දේශපාලන පක්ෂවලටත් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීමට යයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනක්‍රම පවතින බහුවිධ සමාජයන්හි මැතිවරණ මගින් ජයග්‍රහණයක් ලබාගත නොහැකි සමාජ-දේශපාලන බලවේග නියෝජනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා මගින්ම ප්‍රතිපාදන යොදනු ලැබේ.

කබීර් හෂීම්

ඡායාරූප මූලාශ්‍රය, KABIR HASHIM

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ඇමති කබීර් හෂීම්(පා.ම.)

උදාහරණයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ඡන්දයෙන් නියෝජනයක් නොලද සමාජ බලවේග නියෝජනය කිරීම සඳහා අගමැති උපදෙස් පරිදි මන්ත්‍රීවරුන් පස් දෙනෙකු නාමකරණයෙන් පත්කිරීමට ආණ්ඩුකරුට බලය පවරා තිබුණ අතර, ඊට අතිරේකව දෙවන මන්ත්‍රී මණ්ඩලයක් ද ක්‍රියාත්මක විය.

එම දෙවන මන්ත්‍රී මණ්ඩලය වූ 'සෙනෙට් සභාවට' විද්වත් ක්‍රියාකාරිකයන් ද ඇතුළුව ඡන්දයෙන් නියෝජනයක් නොලද ජාතික හෝ වෘත්තීය නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව විය.

ඒ සමඟ 1947 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ පටන් 1977 දක්වා ශ්‍රී ලංකාවේ නියෝජන ක්‍රමය තුළ බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස ක්‍රමයක් පවත්වා ගෙන යන ලද්දේද සුළු ජාතිකයන් ඇතුළු සමාජ බලවේගවලට පාර්ලිමේන්තු නියෝජනයක් සහතික කිරීම සඳහාය.

කියවන්න ;