සාග් 2019: නව වාර්තා සමඟ රන් පදක්කමින් නැහැවුණ ශ්‍රී ලංකාව

Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

දෙසැම්බර් පළමුවෙනිදා සිට නේපාලයේ, කත්මණ්ඩු නුවර පැවැත් වූ 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය අඟහරුවාදා (දෙසැම්බර් 10) අවසන් විය.

රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමඟ පදක්කම් 251ක් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සටහනේ තෙවෙනි ස්ථානය ලබා ගත්තේය.

ඉන්දියාව රන් පදක්කම් 174ක්, රිදී පදක්කම් 93ක් හා ලෝකඩ පදක්කම් 45ක් සමඟින් සමස්ත පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේය.

එහි දෙවෙනි ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් 51ක් සමඟ සමස්ත පදක්කම් 206ක් ජයග්‍රහණය කළ නේපාලයට ය.

Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, www.13sagnepal.com

ඡායාරූප ශීර්ෂ වැකිය, පදක්කම් සටහන

මෙවර තරගාවලියේ දී මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 15ක් දිනා ගත් අතර, 1991න් පසු එවැනි වාර්තාවක් තැබූ පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම, වසර 28කට පසු මලල ක්‍රීඩා ඉසව් වලින් ඉන්දියාව අභිබවා යමින් කලාපයේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ.

රන් පදක්කම් දිනූ මලල ක්‍රීඩා සහ තරග වාර්තා

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස හිරුණි විජේරත්න වාර්තා අතරට එක් විය.

100 x 4 පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

තත්පර 39.14 ක කාලයක් වාර්තා කරමින් තරගය නිම කළ ඔවුන් බිඳ දැමුවේ මීට පෙර දකුණු ආසියාතික ක්‍රීඩා තරගයක දී තත්පර 39.40 ක කාලයක් සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩකයින් තබා තිබූ වාර්තාවය.

කෙටිදුර ධාවන ශුරයින් වන හිමාෂ ඒශාන්, විනෝජ් සුරංජය, චානුක සන්දීප හා යුපුන් ප්‍රියදර්ශන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා කාන්තා 100 x 4 කණ්ඩායම ද එම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 44 .89 ක කාලයක් වාර්තා කරමිනි.

ලක්ෂිකා සුගන්ධි, සදීපා ඇන්ඩර්සන්, අමාෂා ද සිල්වා, සාරංගි ලක්ෂිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.

Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 100 x 4 පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය
Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කාන්තා 100 x 4 කණ්ඩායම

ඩිල්ෂි කුමාරසිංහ මෙවර රන් පදක්කම දිනා ගත්තේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙනි. විසි හැවිරිදි ඩිල්ෂි කුමාරසිංහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාවය.

එම ඉසව්වේ රිදී පදක්කම ගයන්තිකා අබේරත්නට හිමිවිය.

කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ලක්ෂිකා සුගන්දි සමත් විය. එම තරග ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉරේෂානි රාජසිංහටය.

ඉඳුනිල් හේරත්, මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.

කාන්තා මීටර 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් නිලානි රත්නායක කාන්තා මීටර කාන්තා මීටර 5000 ඉසව්වෙන් ද රන් පදක්කමක් ජයග්‍රහණය කළාය.

නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර නදීකා ලක්මාලි රිදී පදක්කම දිනාගත්හ.

ද්වි ප්‍රයාම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට එරංගා දුලක්ෂි සමත් විය.

ශ්‍රී ලංකාවට හිමි වූ මලල ක්‍රීඩා රන් පදක්කම්වලින් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ කාන්තාවන් වීමද විශේෂත්වයකි.

Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිලානි රත්නායක

වැඩිම පදක්කම් ගණන මෙවර සාග් උළලේ දී

පදක්කම් 251ක් සමඟින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රි ලංකාව හිමිකර ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක් වේ.

2006 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දී පැවති දසවෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී රන් පදක්කම් 37ක්, රිදී 63ක් සහ ලෝකඩ 78ක් සමඟ සමස්ත පදක්කම් 178ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එය මෙතෙක් ජයග්‍රහණය කළ වැඩිම පදක්කම් ගණනය.

එමෙන්ම, ශ්‍රී ලංකාව වැඩිම රන් පදක්කම් ගණනක් ජයග්‍රහණය කර ඇත්තේ 1991 වර්ෂයේදීය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට අමතරව වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ පිහිනුම් කණ්ඩායමය.

මල්ලවපොර, කබඩි, බැඩ්මින්ටන්, බීච් වොලිබොල්, බර ඉසිලීම, ජූඩෝ, වූෂු, ගොල්ෆ් යන තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මැතිව් අබේසිංහ මෙවර ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 7ක් හිමිකර ගැනීමට සමත් වූ අතර, උළෙලේ වැඩිම රන් පදක්කම් හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස 2016 වසරේදී ඔහුගේ වාර්තාව සම කිරීමට සමත් විය.

Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට අමතරව වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ පිහිනුම් කණ්ඩායම

දකුණු ආසියානු තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමට රිදී පදක්කමක් දිනා ගැනීමට හැකි විය.

ටයිකොන්ඩෝ ඉසව් වලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවත් රන් පදක්කම් හතරක් ජයග්‍රහණය කළහ.

මේ තොරතුරු ද කියවන්න:

පළමු රන් පදක්කම

තිස්පස් වසරක දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මාලදිවයින මෙවර සමත් විය.

පිරිමි මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.49 ක කාලයකින් අවසන් කරමින් මාලදිවයින වෙනුවෙන් රන් පදක්කම ජයග්‍රහණය කරනු ලැබුවේ සායිද් හසාන් විසිනි.

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 ය පිරිමි ධාවන ඉසව්ව ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක හිමාෂ ඒෂාන්ට මෙවර රිදී පදක්කම හිමි විය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ආරම්භය කුමක් ද?

ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින යන දකුණු ආසියාතික රටවල් 7 එක්ව වසර 1983 දී දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය හෙවත් සාක් ඔලිම්පික් කවුන්සිලය (South Asia Olympic Council) ආරම්භ කරන ලදි.

Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතිහාසයෙ පළමු වරට ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමට රිදී පදක්කමක් දිනා ගැනීමට හැකි විය
Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සාග් (SAG - South Asian Games) ලෙස හැඳින්වෙන තරගාවලිය ප්‍රථමයෙන් පවත්වා ඇත්තේ 1984 වර්ෂයේදී නේපාලයේ කත්මණ්ඩු නුවරදීය.

මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් වූයේ ක්‍රීඩා ඉසව් පහක් පමණි. ඉන් මලල ක්‍රීඩා ප්‍රධාන තැනක් ගත් අතර පිහිනුම්, බොක්සිං, බර එසවීම සහ පාපන්දු තරග එහි දක්නට ලැබිණි.

මුල් කාලය තුළ සාග් ක්‍රීඩා උළෙල වසර දෙකෙන් දෙකට පැවැත්වීමට ක්‍රියා කර ඇතත්, 1995 වර්ෂයෙන් පසු නැවත මෙම ක්‍රීඩා උළෙල පවත්වා ඇත්තේ 1999 වර්ෂයේදීය.

1999 වර්ෂය (8 වැනි ක්‍රීඩා උළෙල) දක්වා රටවල් හතක් පමණක් සහභාගි වූ අතර 9 වැනි වරට 2004 වසරේ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියට ඇෆ්ගනිස්තානය ද එක්විය.

නමුත් ඇෆ්ගනිස්තානය මෙවර පැවැත් වූ 13 වෙනි ක්‍රීඩා උළෙලට සහභාගි නොවීය.

12 වෙනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්වුණේ 2016 වර්ෂයේ වන අතර 13 වෙනි උළෙල පැවැත්වීමට තෙවසරක කාලයක් ගත වී තිබේ.

Sri Lanka in SAG 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දකුණු ආසියානු රටවල වරින් වර පැන නඟින දේශපාලනික, සමාජ ආර්ථික ගැටලු ක්‍රීඩා උළෙල නිසියාකාරයෙන් පැවැත්වීමට බලපා තිබේ. කාශ්මීර ප්‍රදේශය මුල් කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර වරින්වර පවතින ගැටුම් මෙයට එක් හේතුවකි.

මෙතෙක් පැවති සියලු සාග් ක්‍රීඩා උළෙලවල වැඩිම පදක්කම් ගණනක් ජයග්‍රහණය කර ඇත්තේ ඉන්දියාවය.

තවත් තොරතුරු: