ජනාධිපතිවරණය: උතුරේ කුල පීඩනයට ජනාධිපතිවරණ වේදිකාවේ "ඉඩක් නැහැ"

කුල පදනම මත තමන් නොසලකා හැර ඇති බව යාපනය නගරයේ සිට කිලෝමීටර විස්සක් පමණ දුරින් පිහිටි කරෙයිනගර් දූපතේ පදිංචිකරුවෝ පවසති.
කුල පීඩනය හේතුවෙන් තමන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාවලට උතුරේ ජනාධිපතිවරණ වේදිකාවේ ඉඩක් වෙන් නොවන බවට ඔවුහු මැසිවිලි නගති.
"කරෙයිනගර් දූපතේ පාසල් දොළහක් තිබෙනවා. ඒ පාසල් දොළහටම ඉන්නේ එකම ඉංග්‍රීසි ගුරුවරයයි. සිංහල ගුරුවරු නම් එක්කෙනෙක්වත් නැහැ. අපේ ඉස්කෝලෙ ඔක්කොම ගුරුවරු හයයි. කුල ප්‍රශ්නය නිසා පුහුණු ගුරුවරු එන්නේ නැහැ," යනුවෙන් කරෙයිනගර් ඌරෛ ඇමෙරිකානු මිෂන් මිශ්‍ර පාසලේ සේවයේ නිරත ගුරුවරියක වන පදීපන් උමාදේවී පවසයි.

"පළාත් සභාව හෝ මධ්‍යම ආණ්ඩුව අපි ගැන හොයන්නෙත් නැහැ. මේ දරුවන් ඉගෙනගන්න හරිම ආසයි. ඒත් ප්‍රශ්නයට උත්තරයක් නැහැ. මේක දුක්බර කතාවක්"
එල්ටීටීඊ සංවිධානය සමග පැවති යුද්ධය අතරතුර 90 දශකයේ මුල් භාගයේදී කරෙයිනගර් දුපත ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට ගනු ලැබිණි.
එවක එහි සිටි පදිංචිකරුවන්ගෙන් වැඩි දෙනෙකු වන්නියට පළා ගිය බවත් නැවත සිය උපන් ගම බලා පැමිණීමට හැකි වූයේ ඉන් පිරිසකට පමණක් බවත් දැනට එහි වෙසෙන පදිංචිකරුවෝ පවසති.
ග්‍රාම නිලධාරි වසම් නවයකින් යුක්ත කරෙයිනගර් සඳහා වෙනම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලැබුවේ 2003 වසරේදීය.
කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි එහි 2018 වසරේ සංවර්ධන අවශ්‍යතා ලෙස දක්වා ඇත්තේ:
- පොකුණු පිළිසකර කිරීම
- පොදු ළිං ඉදි කිරීම
- පොදු සනීපාරක්ෂක පහසුකම්
- නව නිවාස ඉදිකිරීම
- නිවාස පිළිසකර කිරීම ඇතුළු කරුණු කීපයකි.
කරෙයිනගර් වැසියන් පවසන්නේ තමන්ට පිරිසිදු ජලය ලබා ගැනීම පවා ගැටලුවක් වී ඇති බවය. ප්‍රදේශයේ මාර්ග අබලන්ව ගොස් ඇති බව තවත් එක් චෝදනාවකි. තමන්ට ඒ සඳහා ප්‍රමාණවත් මුල්‍යාධාර නොලැබීමට "කුලය හේතුවක්" වී ඇති බව ඔවුහු පවසති.
දේශපාලන බලය අත්පත් කර ගැනීමෙන් හෝ සිය ගැටලු විසඳා ගැනීමේ අරමුණ ඇතිව කරෙයිනගර් වාසීන් ප්‍රජා සංවර්ධන සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවේ එවන් පසුබිමකදීය. ප්‍රජා සංවර්ධන සංවිධානයේ නියෝජිතයන් තිදෙනෙකු 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයයේදී කරෙයිනගර් ප්‍රාදේශීය සභාවට තරග කර තේරී පත් වූයේ ඒ පසුබිම තුළය.
'මාළුවා' ඡන්ද ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කර මන්ත්‍රී ධුර තුනක් දිනා ගත්ත ද ජලය ලබා ගැනීම, යටිතල පහසුකම් සහ අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම තවමත් අභියෝගයක් වී ඇති බව කරෙයිනගර්හි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන වී.අප්පුතුරෙයි පවසයි.

ඉරණමඩු ජලාශයෙන් කරෙයිනගර් වෙත ජල යෝජනා ක්‍රමයක් සැලසුම් කෙරුණද උතුරේ "කුලවාදී දේශපාලනඥයන්ගේ විරෝධය" හමුවේ එය ක්‍රියාත්මක නොවූ බව ඔහු කියා සිටියේය.
"අපිට දරුණුම ප්‍රශ්නය ජලය. වැසි ජලය එකතු කරගැනීමට දැන් අපි උත්සාහ කරනවා. ඒත් නියං කාලයේදී කිසිම උත්තරයක් නෑ. මුහුදු වතුරෙන් පානීය ජලය සැකැසීමේ යෝජනාවක් ඒ දවස්වල තිබුණා. පසුව ඒකත් යට ගියා. " යනුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වී.අප්පුතුරෙයි සඳහන් කළේය.
"පළාත් සභාවෙන් අධ්‍යාපනයට කිසිම මුදලක් වෙන් කෙරෙන්නෙත් නැහැ. මහාමාර්ගවලටත් එහෙමයි. පාරවල් පිළිසකර කළේ ජපන් ආධාරවලින්. කොන්ක්‍රීට් පාරවල් හදන්න රුපියල් කෝටි හතරක් ලැබුණා. ආණ්ඩුවේ ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක වුණෙත් පක්ෂවලට බෙදිලයි"
ජාතික විද්වත් සංවිධානයේ සාමාජිකයකු වන කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් කරෙයිනගර්හි පවතින සමාජීය ගැටලු පිළිබඳ අධ්‍යනය කළ අයෙකි.
එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි අවධියේ කුල පීඩනය යම් ආකාරයකින් අඩු වී තිබූ බව ඔහු පවසයි. සන්නද්ධ අරගලයට සහභාගී වූ එල්ටීටීඊ සාමාජිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් කුල පීඩිතයන් වීම ඊට හේතු වන්නට ඇති බව ඔහුගේ අදහසය.
"මම මාස ගණනක් තිස්සේ මෙහි කළ අධ්‍යයනයේදී දුටුවේ කරෙයිනගර් වැසියන් කියන්නේ අතීතයේ පටන්ම මෙම ප්‍රශ්නයෙන් බැට කෑ පිරිසක් බවයි. ඔවුන් සමග කතාබහ කරද්දී මට දැනුණේ යටපත්ව තිබූ කුලපීඩනය යළි හිස ඔසවන ආකාරයක්"
"හින්දු ආගමේ ජලය සැලකෙන්නේ පිරිසිදුකමේ සංකේතයක් වශයෙන්. හැබැයි කරෙයිනගර් යථාර්ථයේදී ජලය පිරිසිදු වෙන්නේ කුලවතුන්ට පමණයි. කුල පීඩිතයන් පානය කළොත් ඒ ජලය අපිරිසිදු වෙනවා යැයි කුලවතුන් විශ්වාස කරනවා. කරෙයිනගර් පමණක් නෙවෙයි. යාපනය පුරාම ඇතැම් කෝවිල්වලට කුලපීඩිත ජනයාට ඇතුලුවීමටවත් බැහැ. ජාතියෙන් භාෂාවෙන් පමණක් නෙවෙයි, ආගමෙනුත් මේ ජනයාට වෙනස් ලෙස සැලකෙන්නේ." යනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් කියා සිටියේ "දකුණේ වැඩවසම් සමාජය තුළ මෙන්ම උතුරේ වැඩවසම් සමාජය තුළත් කුලවාදය පොදු ලක්ෂණයක් ලෙස" දැකිය හැකි බවය.
එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති කාලය තුළත් ඉන් අනතුරුවත් කුල පීඩනය පිළිබඳ තත්ත්වය පවතින බව ඔහු පවසයි.

කුලයෙන් ඉහළ යැයි සැලකෙන ඇතැම් සිවිල් ක්‍රියාධරයන් කුල පීඩනයට එරෙහිව යම් හඬක් නගන තත්ත්වයක් ද උතුරේ දක්නට ඇත.
දීර්ඝ කාලයක් පුරා පැවති සමාජ සම්මත වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවන බව ජාතික විද්වත් සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සභාපති විශ්‍රාමික ඉංජිනේරු එන් සූරියනායගන් පෙන්වා දෙයි.
"රැකියාවකට හෝ ජීවිතයේ වැදගත් කවර අවස්ථාවකට ඇතුලුවීමේදී දෙමළ සමාජයේ මිනිසුන්ගෙන් ඉහළ කුලවල අය විමසන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමා වාසය කරන ගම් පළාත. ඉන්පසුව ඔවුන් තව දුරටත් හාරා හාරා අවුස්සා ගමේ වීදිය, දේවාලය ගැන අසනවා. ඔවුන් එයින් ඔහු හෝ ඇය පහළ කුලයකදැයි කියා නිශ්චය කරගන්නවා" යනුවෙන් ඔහු සඳහන් කළේය.
රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමේදී පවා කුලය මත වෙනස් ලෙස සැලකීම දැකිය හැකි බව ඔහුගේ අදහසය.
"මොකද බොහෝ තනතුරු නියෝජනය කරන්නෙත් කුලවතුන්. එහෙත් මෙහි උත්ප්‍රාසය වන්නේ එම අමිහිරි අත්දැකීමට මුහුණ දෙන ජනයා එය තේරුම්ගන්නේ ආණ්ඩුව කරන වැඩක් හැටියටයි. මොකද ඔවුන් එය හඳුනාගන්නේ මේ කුල පීඩිත තත්ත්වය රජය දැනුවත්ව මෙහෙයවන ක්‍රියාවලියක් හැටියට වීමයි."
"අතීතයේදී කොමියුනිස්ට් පක්ෂයේ සී සුබ්‍රමනියම්ලා කුලපීඩිතයන්ට යම් හෝ අවස්ථාවක් දුන්නා. අද එවැනි දේශපාලකයන් විරලයි" ජාතික විද්වත් සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සභාපති විශ්‍රාමික ඉංජිනේරු එන් සූරියනායගන් වැඩිදුරටත් පැවසීය.
කුලය මත වෙනස් ලෙස සැලකීම පිළිබඳ දෙමළ ජතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ස්කන්ධරාජාගෙන් බීබීසී සිංහල සේවය කළ මිවසීමකදී ඇය කියා සිටියේ උතුරේ ඇතැම් ප්‍රදේශ තුළ කුලය ප්‍රශ්නය පවතින නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බවය.
විශේෂයෙන් වත්මන් තරුණ පරපුර ඒ සම්බන්ධයෙන් විශේෂත්වයක් නොදක්වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.




























