ශ්‍රී ලංකා හමුදාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි තහනම : හමුදාවේ 651ක් යළි දිවයිනට

Published

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස පත්කිරීමට විරෝධය පළකරමින්, ශ්‍රී ලංකාව යුද හමුදාවට සාම සාධක රාජකාරිවල යෙදීමේ අවස්ථාව අහිමි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට සාම සාධක රාජකාරී අහිමි කිරීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ඊයේ (සැප්තැම්බර් 25) නිවේදන කළේය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සමග දැනට සිටින ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් හා සෙබළුන්ගේ වත්මන් රාජකාරි අවසන්වූ පසු ශ්‍රී ලංකාවට නැවත එවන බව පැවසූ නියෝජ්‍ය මහලේකම්වරයා එම පිරිස වෙනුවෙන් අලුතෙන් හමුදා පිරිස් ශ්‍රී ලංකාවෙන් ගෙන්වා සම්බන්ධ කර නොගන්නා බව පවසා තිබේ.

මෙයට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බවය.

එක්සත් ජාතීන්ගේ 74 වෙනි මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ 2019 සැප්තැම්බර් 27 වෙනි සිකුරාදා මෙම කරුණ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් හා සෙබළුන් 651 දෙනෙක් මේ වන විට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්වල යෙදී සිටිති. නව තීන්දුව අනුව ඔවුන් ඉදිරියේදී සිය කාල සීමාව අවසන්වූ පසු නැවත ශ්‍රී ලංකාවට එවනු ඇත. ඔවුන් වෙනුවට එම රාජකාරි සඳහා පිටත් කිරීම සඳහා මේවන විට ශ්‍රී ලංකාවේ පුහුණුව ලබන හමුදා සාමාජිකයන්ට ද එම අවස්ථාව අහිමිවේ.

අවසන් වරට පසුගිය ජුලි මාසයේදී සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණු සුඩානය බලා පිටත්ව ගියහ.

2018 වර්ෂයේදී මාලි රජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර මරණයට පත්වුහ.

ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1955 වසරේදීය.

ඉන් අනතුරුව 1960 වසරේ දී අප්‍රිකාවේ කොංගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය 6 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු යුද හමුදා භට පිරිස 1962 වසර දක්වා එහි සේවය කළහ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් වරින් වර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවට අනුව මෙම කාලය තුළ අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් 19,000ක් පමණ මෙහි සේවය කර තිබේ.

ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඊට දැඩි විරෝධයක් එල්ල විණි.

"එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ," යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක්ද නිකුත් කළේය.

යුද්ධයේ අවසාන අදියරයේදී (2009) ශවේන්ද්‍ර සිල්වා විසින් නායකත්වය දෙන ලද 58 වෙනි සේනාංකය සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට චෝදනා එල්ල වි

එහෙත් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වන එම චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවත් චෝදනා ලත් පුද්ගලයෙකු යුද හමුදාපති ධුරයට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අතර පවතින සහයෝගීතාව පිරිහීමට හේතු විය හැකි බවට එම අවස්ථාවේදී වාර්තා පළ විය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට සහභාගීවීම සඳහා හමුදා සාමාජිකයන් පුහුණුකිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනම පුහුණු ආයතනයක් පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණය දිගු කාලීනව ක්‍රියාත්මක වුවහොත් එම ආයතනයේ අනාගතයද අවිනිශ්චිත තත්ත්වයකට පත්වීමේ ඉඩ කඩ ද පවතී.