කන්නියා උණුදිය උල්පත් : "මාස දෙකකින් තඹ දොයිතුවක ආදායමක් නෑ"

කේ එම් නයනකාන්තී
ඡායාරූප ශීර්ෂ වැකිය, කේ එම් නයනකාන්තී
Published

ත්‍රිකුණාමල අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ දුරක් ගමන්කරද්දී හමුවන කන්නියාව හන්දියෙන් වමට හැරී තවත් මීටර් දෙසීයක් පමණ යන විට සුප්‍රසිද්ධ උණුදිය උල්පත් හමුවේ.

දෙස් විදෙස් සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති උණු දිය උල්පත් සමූහය ආශ්‍රිතව තාවකාලික කඩ කාමර ඉදිකරගනිමින් ප්‍රදේශවාසී ජනතාව කලක සිට සුළු ව්‍යාපාරවල නිරතව සිටිති.

දශක තුනක් පුරා පැවති යුද ගැටුම්වලින් අනතුරුව සංචාරක කර්මාන්තය ක්‍රමිකව ගොඩනැගෙමින් පවතින අතරවාරයේ පාස්කු ඉරුදින ප්‍රහාරය මේ වෙළෙන්දන්ට මරු පහරක්ව තිබේ.

ත්‍රිකුණමලයේ ආන්දම්කුළම ගමේ පදිංචි එච් ඒ අප්පුහාමී බීබීසී සිංහල සේවයට පැවසුවේ තමා 2002 වසරේ සිට මේ ස්ථානයේ පළතුරු වෙළෙඳාමේ නිරත බවය.

"යුද්ධය තිබුණා කියලා අපි නෑවිත් හිටියේ නෑ. අපේ රටේ සංචාරකයොත් හොඳට ආවා. දවසින් දවස වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ. දවසකට රුපියල් දෙතුන්දාහක් උපයා ගත්තා. හැබැයි අර සිද්ධියෙන් පස්සේ කිසි කෙනෙක් එන්නේ නෑ. අපි පුරුද්දට වගේ උදේට එනවා. හවසට හිස් අතින්ම ආපහු යනවා. අපේ රටේ මිනිස්සුගෙ හිත්වල මොකක්දෝ බයක් තියෙනවා," ඔහු පැවසීය.

කින්නියා උණු දිය උල්පත්
ඡායාරූප ශීර්ෂ වැකිය, කින්නියා උණු දිය උල්පත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නියාමනය වන අදාළ භූමියට ඇතුලුවීමට දේශීය සංචාරකයන්ගෙන් රුපියල් දහයක් ද විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් පණහක් ද අය කෙරේ.

පන්සලක්, මුස්ලිම් පල්ලියක් සහ හින්දු කෝවිලක් ද උණු දිය ළිං පිහිටි භූමියෙන් පිටත ඉදිකර ති‍බේ.

සිය වෙළෙඳසල් පවත්වාගෙ යන්නේ කෝවිලට සහ පල්ලියට අයත් ඉඩම්වල බව වෙළෙන්දෝ පවසති.

"අපට ස්ථීර ගොඩනැගිලි ඉදිකරන්න අවසර නෑ. කෝවිලෙන් නැතිනම් පල්ලියෙන් ලැබුන ඉඩම් කොටසක තමයි මේ තාවකාලික වෙළෙඳ කුටි හදාගෙන ඉන්නේ. වර්ග අඩියකට මාසිකව රුපියල් සීයක් අපෙන් අය කරනවා. වර්ග අඩි දහයක් පහලොවක් වැනි බිම් කඩක් අපට ලැබී තියෙනවා. හමුදාවේ බවුසරයකින් බීමට ජලය සපයනවා. විදුලිය හා වැසිකිළි කැසිකිළි පහසුකම් නෑ. මේ අඩුපාඩුකම් තිබුණත් පසුගිය පස්කු ඉරිදා වෙනතුරුම සංචාරකයන්ගෙන් අඩුවක් වුනේ නෑ .එදායින් පස්සේනම් කිසි කෙනෙක් ආවේ නෑ" තවත් වෙළෙන්දෙක් කියා සිටියේය.

ආර් ජී ශ්‍රියාණී මල්ලිකා උණුදිය උල්පත ආසන්නයේ සෙල්ලම් බඩු වෙළඳාමේ නිරත වන්නියකි.

එච් ඒ අප්පුහාමී
ඡායාරූප ශීර්ෂ වැකිය, එච්.ඒ අප්පුහාමී

"වෙළෙන්දෝ එකසිය පණහක් පමණ හිටියා. සියයට හැත්තෑ පහක්ම රත්නපුර, පරකඩුව, මතුගම, කුරුණෑගල වගේ ඈත පළාත්වල අය. බෝම්බ සිද්ධියෙන් පස්සේ ඒ හැමෝම කඩවල් වහලා ගියා. ත්‍රිකුණාමල නගරය අවට පදිංචි අය විතරයි දැන් උණුදිය උල්පත්වල වෙළෙඳාම් කරන්නේ."

එසේ පවසන ඇය මාස දෙකක්ම ආදායමක් නැතිකම දරාගත නොහැකි පාඩුවක් බව කියා සිටී.

"මගේ එක දරුවෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. අනෙක් දරුවා උසස් පෙළ හදාරනවා. හැම දෙයක්ම කරන්නේ මේකෙන් තමයි. පිළිගත් බැංකුවලින් ණය මුදලක් ගන්න අපට සුදුසුකම් නෑ. අපි වගේ දුප්පත් අයට ඇප තියන්නේ කවුද? සින්නක්කර ඉඩම් ඇත්තෙත් නෑනේ. ඒ නිසා නොයෙකුත් පුද්ගලික ආයතනවලින් ගිණි පොලියට ණය අරගෙන තමයි වෙළෙඳාම කරගෙන යන්නේ.‍ කොහොම වුනත් මාසෙකට රුපියල් පහලොස් දාහක් විතර ණයයි පොලියයි ගෙවනවා. දැන් මාස දෙකක්ම ඒකත් බැරිවුනා. කියන්න කෙනෙකුත් නෑ. අහන්න කෙනෙකුත් නෑ."

තාවකාලික කඩ කාමර
ඡායාරූප ශීර්ෂ වැකිය, තාවකාලික කඩ කාමර

උණුදිය උල්පත ආශ්‍රිත වෙළඳාමෙහි නිරත කේ එම් නයනකාන්ති පවසන්නේ තිස් වසරක යුද්ධයෙන් පසුව හිස ඔසවාගෙන ආ තමන් එක දවසක සිදුවීමකින් නැවත වළට වැටුන බවය.

"මම විවිධ මාදිලියේ අත්කම් භාණ්ඩ අළෙවි කරනවා. අපි පමණක් නොවෙයි ඒවා නිෂ්පාදනය කරන අයත් මේ වෙළඳාම නිසා ජීවත්වෙනවා. මාස දෙකක් තිස්සේ අපි සියළු දෙනාම ලොකු අමාරුවක වැටිලයි ඉන්නේ," ඇය පවසන්නීය.

"ආණ්ඩුව නම් කියන්නේ කඩා වැටුන සංචාරක කර්මාන්තය කඩිනමින් යළි ගෙඩනඟනවා කියලයි. තරු හෝටල් ගැන විතරක් කතා කළාට මදි. අපිත් සංචාරක කර්මාන්තයේම කොටසක් තමයි. පිට රටවලින් එන නෝනලා මහත්වුරු අපේ මේ තහඩු අතු මඬු වලටත් ආකර්ශණය වෙනවා. පාස්කු සිද්දිය නිසා ජනතාව තුළ ඇතිවුන තැති ගැන්ම තුනී කරන්න ආණ්ඩුවට තවමත් බැරිවුනා. උණු වතුර ළිං පාළුවට ගියා කියන්නේ අපේ ජීවිතත් පාළුවුනා කියන එක තමයි. එකසිය පණහක් පමණ වෙළෙන්දන් ගැවසුන තැන දැන් ඉන්නේ හත්අට දෙනයි," යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ආර් ජී ශ්‍රියාණී මල්ලිකා
ඡායාරූප ශීර්ෂ වැකිය, ආර් ජී ශ්‍රියාණී මල්ලිකා

මේ වෙළෙන්දන් නගන චෝදනා ගැන විමසූ අවස්ථාවේ ත්‍රීකුණාමල දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාර බීබීසී සිංහල සේවයට කියා සිටියේ, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේම සංචාරක ව්‍යාපාරය කඩා වැටී ඇති තත්වයක ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කය ගැන පමණක් වෙනම කථාකිරීම විශේෂ කාරණයක් නොවන බවය.

"රටේ ආරක්ෂාව තහවුරුකර ඇති බව රජයත් ආරක්ෂක අංශත් නිතර නිතර කියනවා. නමුත් පාස්කු ඉරිදා සිද්ධිය නිසා ජනතාවගේ සිත්වල ඇති වූ තැතිගන්ම තවම පහවෙලා නැති බව තමයි පෙනෙන්නේ," ඔහු පැවසීය.

කින්නියාවේ උණුදිය උල්පත් සහ ඒ ආශ්‍රිත වෙළෙන්දන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාර: "කෝවිල සහ පල්ලිය සතු ඉඩම්වල තමයි ඒ අය ‍වෙළඳාම කර‍ගෙන යන්නේ. උණු දිය ළිං නැරඹීමට එන අයගෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගාස්තුවක් අය කරනවා.‍ කෝවිලයි පල්ලියයි ‍වෙළෙන්දන්ගෙන් බිම් කුලී ගන්නවා. උප්පුවලි ප්‍රාදේශීය සභාව එම ස්ථානයෙන් කිසිම ආදායමක් නැතුව පිරිසුදු කිරීමේ කටයුතු කරනවා. ප්‍රාදේශීය සභාව තමන්ට ඇති බලතල අනුව එම ස්ථානය පවරා ගත්තානම් බොහෝ ගැටළු විසඳේවි," යනුවෙන් පැවසීය.

උණුදිය උල්පත් පරිපාලනය තමන් වෙත පවරන්නේ නම් කෝවිල සහ පල්ලිය සමඟ සාකච්ඡා කර එහි පවතින සියළු අඩුපාඩුවලට විසඳුම් ලබාදෙන බවත් එම භූමිය දැනට පවතින තත්වයට වඩා සංචාරක ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව ඇති බවත් උප්වපුවලි ප්‍රාදේශීය සභාවේ සභාපති වෛද්‍ය කේ ඥාණගුණාලන් පවසයි.

"අපි මේ ගැන දිගින් දිගටම යෝජනා කරනවා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකඟ වෙන්නේ නෑ. මේ නිසා වෙළෙන්දන් වගේම උණු දිය උල්පත් නැරඹීමට පැමිණෙන අයත් නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දෙනවා. බීමට පිරිසිදු පානීය ජලය නැතිනම්, වැසිකිළි කැසිකිළි හරියට නැතිනම්, විදුලිය නැතිනම් තවත් ඉතින් මොන කථාද?" ඔහු විමසීය.

ත්‍රීකුණාමල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එන් එච් ඒ සුමනදාස මේ අතර පවසන්නේ අක්කර පහකින් යුතු උණුදිය උල්පත් පරිශ්‍රය පුරාවිද්‍යා වැඩබිමක් බවය.

"මැතකදී අපි කැණීම් කටයුතු කරද්දී අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබක නටබුන් සහ සෙල් ලිපියක් හමුවුනා. අවට ඇති වැව් පහක ජලය බෞද්ධ ආරාමයක වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා වෙන්කර ඇති බවයි සෙල් ලිපියෙන් කියවෙන්නේ. මෙහි විශාල ආරාම සංකීර්ණයක් පැවති බව තහවුරු වෙනවා. පෞද්ගලික ඉඩම්වල පවත්වාගෙනයන වෙළඳාම් සම්බන්ධයෙන් අපේ වගකීමක් නෑ." ඔහු පැවසීය.

එබැවින් ප්‍රාදේශීය සභාවට හෝ වෙනත් ආයතනයකට මෙම ස්ථානයේ පරිපාලනය පවරා නොදෙන බව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කියවන්න: