ජනපති මෛත්‍රීපාල සහ ආණ්ඩුව අතර ඇතිවූ එකඟතාව

Published

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන අඟහරුවාදා (ජුනි 18) පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගීවීමට එකඟතාව පළ කළ බව අමාත්‍ය රවී කරුණානායක පවසයි.

බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කළ රවි කරුණානායක අමාත්‍යවරයා "තමා සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවත්, සුපුරුදු පරිදි කැබිනට් රැස්වීමට සහභාගී වන බව ජනාධිපතිවරයා එම අවස්ථාවේ තමන්ට දැනුම් දුන් බවත් සඳහන් කළේය.

"අපේ අරමුණ වුණේ සුහදතාව වර්ධනය කරගැනීම," අමාත්‍ය කරුණානායක පැවසීය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාකච්ඡා කෙරෙන කාරණා කෙරෙහි නොසතුට දක්වමින් ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා (ජුනි 11) සතියකට වරක් පැවැත්වෙන කැබිනට් රැස්වීම නොකැඳවීය.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට නොපැමිණීම ගැන බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, "ප්‍රජාතන්ත්‍රවාදය තුළ සාමූහික වගකීම කියන දේ ගොඩක් වැදගත්. රටේ තීන්දු සාමූහිකව ගැනීම සඳහා විධායකය හමුවන ස්ථානය කැබිනට් රැස්වීමයි," යනුවෙනි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක කරු ජයසුරිය පසුගිය මාසයේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළේය.

එහි සභාපතිවරයා වශයෙන් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පත් කළ අතර සෙසු සාමාජිකයින් වන්නේ රවුෆ් හකීම්, රවී කරුණානායක, රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන්, සහ නලින්ද ජයතිස්ස ය.

එම කාරක සභාවේ ප්‍රථම සාක්ෂි විමසීම මැයි 29 වෙනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

නමුත් එම කාරක සභාවේ සාකච්ඡා කෙරෙන කරුණු ගැන විරෝධය පළ කළ ජනාධිපතිවරයා තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව පසුගිය සිකුරාදා (ජුනි 07) පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි.

ඔහු එහිදී පවසා තිබුණේ, තමන් යටතේ සිටින කිසිදු නිලධාරියෙකු විශේෂ කාරක සභාව හමුවට නොඑවන බවය.

මෙම විශේෂ කාරක සභාව ඉදිරියේ අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබු බව පිළිගත්හ.

පූජිත් ජයසුන්දර තව දුරටත් පැවසුවේ බෝම්බ ප්‍රහාර සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා තමාට "වගකීම භාරගෙන සේවයෙන් ඉල්ලා අස්වන" ලෙස බලපෑම් කළ බවය.

මලල්ගොඩ කමිටු වාර්තාව

මේ අතර අප්‍රේල් 21 වෙනිදා සිදුවූ ප්‍රහාර වලට හේතු වූ කරුණු සහ එහි පසුබිම සොයාබලා වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ත්‍රිපුද්ගල කමිටුවක් අප්‍රේල් 22 වෙනිදා පත් කරන ලදි.

එහි සභාපතිවරයා වශයෙන් විනිසුරු විජිත් මලල්ගොඩ පත්කරන ලද අතර සෙසු සාමාජිකයින් වූයේ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පතිවරයෙකු වන එන් කේ ඉලංගකෝන්ය.

මෙම කමිටුව සිය වාර්තාව පසුගිය ජුනි 10 වෙනිදා ජනාධිපතිවරයාට භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

නමුත් එහි අඩංගු කරුණු මෙතෙක් මාධ්‍යට හෙළි කර නොමැත.

ඊට පෙර එම කමිටුව අතුරු වාර්තා දෙකක් ද භාරදී තිබිණි.