ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් උසස් පෙළ සමත් "35% පමණයි"
ශ්‍රී ලංකා මධ්‍යම රජයේ සේවකයන් අතර කාන්තාවන් සිටින්නේ 36% ක් පමණක් බව අලුත්ම වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 නොවැම්බර් මාසයේ පවත්වන ලද සංගණනයට අනුව මධ්‍යම රජය සහ පළාත් රාජ්‍ය අංශය එක්ව ගත්විට සේවා නියුක්තිකයන් අතරින් 44.9 % කාන්තාවන්ය.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන සේවක සේවිකාවන් 1,109, 475ක් අතරින් අපොස උසස් පෙළ සමත් වී තිබෙන්නේ 35% ක් පමණක් බවත් සංගණනයේදී හෙළි වී තිබේ.
රාජ්‍ය සහ අර්ධ අංශයේ සේවා නියුක්තිකයන් අතරින් 65.3%ක් මධ්‍යම රජය යටතේ සේවය කරන අතර, 34.7% සේවය කරන්නේ පළාත රාජ්‍ය අංශය යටතේය.
ආරක්ෂක හමුදාවල සේවය කරන නිල ඇඳුම දරන කාර්ය මණ්ඩලය මෙම සංගණනයට ඇතුළත් නොවේ.
තවත් කියවන්න:
2016 නොවැම්බර් මාසයේ පවත්වන ලද සංගණනයේ වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ විසින් සඳුදා (ජුලි 09) ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේඩීඑස් රුවන්චන්ද්‍ර වෙත පිළිගන්වන ලදි.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ තොරතුරු තාක්ෂණ දැනුමද සංගණනයේදී විමසා බලන ලදි. ඒ අනුව සමස්ත සේවක බලකායෙන් 66.8% කට පරිගණක භාවිත කිරීමේ හැකියාව තිබෙන අතර 56.3%ක් පමණ අන්තර්ජාලය භාවිතා කරන බව ද සංගණන වාර්තාවේ දැක්වේ.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් සම්බන්ධයෙන් මුලින්ම 1980 දී මෙවැනි සංගණනයක් පවත්වා තිබෙන අතර 2016 දී පවත්වනු ලැබුවේ අට වෙනි වතාවටය. 1980ට පෙර එවැනි සංගණන පවත්වා තිබෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සිදු කරන ලද වැටුප් ලේඛන පදනම් කරගත් ගණන් ගැනීමක් ලෙසිනි.