රජයේ සේවිකාවන්ට කොට සාය 'තහනම්'

කොට සායකින් සැරසී සේවයට වාර්තා කිරීම හේතුවෙන් උගන්ඩාවේ අධිකරණයක සේවය කරන ලිපිකාරිනියකගේ සේවය අත්හිටුවීමට බලධාරීහු කටයුතු කළහ.
ඇය සැරසී සිටි කොට සාය සහ ඇඟට හිරවෙන ඇඳුම් අධිකරණය සම්බන්ධයෙන් අයහපත් ආකල්පයක් මතු කරන බව ඇයට ලිපියකින් දැන්වූ ලිපිකාරිනියගේ ඉහල නිලධාරීහු එබැවින් ඇයගේ සේවය අත්හිටුවන බව දැනුම් දී තිබේ.
ආණ්ඩුවේ සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීමේ දී සැරසිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමින් මීට මාස කිහිපයකට ඉහතදී උගන්ඩාවේ ආණ්ඩුව චක්‍රලේඛයක් නිකුත් කළේය.
විශේෂයෙන්ම කාන්තාවන් අත් නැති හැට්ට පැළඳීමෙන් හෝ පපු පෙදෙස අනාවරණය වන ඇඳුම්වලින් සැරසීමෙන් වැළකිය යුතු බව එම චක්‍රලේඛයට ඇතුළත් වූ විශේෂ නිර්දේශයකි.

ඇඳුම් සම්බන්ධ එම නිර්දේශවලට අනුව දිලිසෙන වර්ණවලින් යුත් නිය සායම් තැවරීම හෝ දිලිසෙන වර්ණ සහිත හවරිවලින් සැරසීමත් කාන්තාවන්ට තහනම් කෙරිණ.
පුරුෂයන් අත් දිග කමිසවලින් සැරසී ටයි පටියක් ද පැළඳිය යුතු අතර, පුරුෂයන් ඇඟට හිර කලිසම්වලින් සැරසීමෙන් වැළකිය යුතු බවට ද නිර්දේශ කෙරිණ.






















