ඉහළ යන ඩෙංගු උවදුර: "මීළඟ ජීවිත බිල්ල ඔබද?"

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස්
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස්
Published

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම ඩෙංගු රෝගය පැතිර යාමේ අධි අවධානම් කළාප ලෙස හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

එබැවින් මේ මොහොතේ ඩෙංගු උවදුරෙන් බේරීම ජාතික අවශ්‍යතාවයක් සේ සළකා සවොම් එක්ව කටයුතු කරන මෙන් ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා සඳහන් කරයි.

වෛද්‍ය හසිත තිසේරා ඒ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සෙනසුරාදා ආරම්භ කළ අවස්ථාවේ අදහස් දක්වමිනි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලීසියේ සාමාජිකයින් 1000 ක අමතර පිරිසක් ද ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමේ කඩිනම් වැඩසටහනට යොමු කර තිබෙන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස්
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස්

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 හි ග්‍රාම නිලධාරි වසම් 557 ක ඒකක 2600 ක් තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පුද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම සහ සෙනසුරාදා දිනයන් හීදි නිවාස ආශ්‍රිත පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම එයට ඇතුළත් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව පවසයි.

ඩෙංගු මදුරුවන් බෝ වීම අවම කිරීමේ ජනාධිපති විශේෂ කාර්යය බලකායේ ඩෙංගු මර්දන විශේෂ ත්‍රෛමාසික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති.

ඩෙංගු රෝගය බෝවන ආකාර, රෝග ලක්ෂණ සහ එයින් වැළකිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස්
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස්

ඒ අනුව ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන තද උණ, හිසරදය, ඔක්කාරය සහ ඇඟපත වේදනාව සමග හුස්ම ගැනීමේ අපහසුවක්/ පපුව රිදීමක්, සෙම ගතියක්, මුත්‍රා පහවීම අඩුවීමක්, සමෙහි රතු පලු හැට ගැනීමක්, ඇස් යට වේදනාවක් සහ බඩ රිදීමක් සමග බඩ පිපුමක් දැනෙන්නේ නම් වහාම රුධිර පරීක්ෂාවක් කරගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

එහෙත් පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු ඖෂධයක් කිසිදු අවස්ථාවක භාවිත නොකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවවාදයය.

විශේෂයෙන්ම දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව පෙන්වාදෙන සෞඛ්‍ය බලධාරීහු, ඩෙංගු උණ රෝග ලක්ෂණ තිබෙන්නේ නම් වෙහෙසකර කටයුතුවලින් වැලකී විවේක ගන්නා මෙන් සහ හැකිතරම් දියර වර්ග පානය කරන මෙන් ද රෝගීන්ගෙන් ඉල්ලා සිටිති.