ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොරොන්දු ඉටුකළේ නැහැ -'මෑන්පවර්' සේවකයෝ
'මෑන්පවර්' ආයතනයේ සේවකයන්ට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ස්ථිර රැකියා ලබා දෙන බවට දුන් පොරොන්දුව තවමත් ඉටුකර නොමැති බව සමස්ත ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමය පවසයි.
එම පිරිසට ස්ථිර පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිට අඛණ්ඩ විරෝධතාවක් පවත්වාගෙන යන බව සමස්ත ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ සභාපති නිමන්ත විජේසූරිය බීබීසී සංදේශයට පැවසීය.
"දෙදහස් එකසීයක පමණ සේවක පිරිසක් මේ වනවිට 'මෑන්පවර්' හරහා ටෙලිකොම් ආයතනයට සේවය සපයනවා. ඒ සියලුදෙනාම ස්ථිර කරන්න කියල තමයි අපි ඉල්ලන්නේ. අඩු තරමින් දැනට ගෙවන වැටුපටවත් ඔවුන්ට පත්වීම් ලබාදෙන්න කියන එකයි අපේ ඉල්ලීම." යනුවෙන් ඔහු කියා සිටියේය.
'දඬුවම් මාරු'
පසුගියදා සම්ප්‍රේෂණ කුලුනක් මතට නැග උපවාසයක යෙදුනු සේවකයන් තිදෙනාට දඬුවම් නොකරන බවට විෂයභාර ඇමතිවරයා පවසා තිබියදීත් එම තිදෙනාට 'දඬුවම් මාරු' ලබා දී ඇති බව සමස්ත ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
"පසුගිය දෙසැම්බර් මාසේ ඒ තුන්දෙනාටම දඬුවම් මාරු දුන්න. ඒ කියන්නේ රජයේ ඇමතිවරයෙකුවත් කරන ප්‍රකාශ තකන්නේ නැතිව තමයි මේ පාලන අධිකාරිය ක්‍රියා කරන්නේ." ඔහු පැවසීය.
සමස්ත ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමය එල්ල කරන චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේනගෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.