WWE ශූර 'අන්ඩර්ටේකර්' යළි රෙස්ලින් වළල්ලට පැමිණෙයි ද?

The Undertaker

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මාක් කැලවේ ඔහුගේ සැබෑ නමයි
Published
කියවීමේ කාලය: මිනිත්තු 2

තමාට "යළි රෙස්ලින් වළල්ලට පැමිණීම සඳහා ආශාවක් නැති" බව පැවසීමත් සමග WWE ශූර 'අන්ඩර්ටේකර්' වෙත සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් සහාය පළ වී තිබේ.

පනස් පස් හැවිරිදි ඔහුගේ සැබෑ නම මාක් කැලවේ ය.

මෑත කාලීන වාර්තා වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ "තමාට තවත් දිනා ගැනීමට දෙයක් නොමැති" බවය.

දශක තුනක් පුරා දිවයන ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් සමු ගැනීම සඳහා සැලසුමක් ඇති බව එමගින් පෙනී යයි.

නමුත් 'අන්ඩර්ටේකර්' හෝ 'WWE' සමාගම ඔහු ලීග තරගවලින් විශ්‍රාම ගන්නා බවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

'ද ඩෙඩ් මෑන්' (The Dead Man) යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන ඔහු WWE නවතම චරිතාපදානය 'The Last Ride' හි සිය අදහස් පළ කර තිබේ.

'ඒජේ ස්ටයිල්ස්' ට (AJ Styles) එරෙහිව මෑතක දී 'අන්ඩර්ටේකර්' සහභාගි වූ තරගය පිළිබඳ සිය චරිතාපදානයේ ඔහු අදහස් දක්වයි. එම තරගයේදී සිය ප්‍රතිවාදියා "වළ දමන" ඔහු යතුරුපැදියක නැගී නික්ම යයි.

"ඒක නියම අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවල් නිතරම ලැබෙන්නේ නැහැ. වෘත්තීය ජීවිතයට සමු දෙන හොඳම විදිහක් තිබෙනවා නම්, ඒක තමයි ඒ හොඳම විදිහ," යනුවෙන් ඉහත කී සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

The Undertaker and Brock Lesnar

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අන්ඩර්ටේකර්' සිය වෘත්තීය ජීවිතය තුළ ශූරතා ගණනාවක් දිනා ඇත

"මේ 'කව්බෝයි' ට (තමාට) ඇත්තටම නික්ම යන්න කාලයයි," යනුවෙන් ඔහු පවසයි. "වළල්ල ඇතුලතට වඩා ඉන් පිටත මට වඩාත් හොඳ දේ කරන්න පුළුවන්. අවසානයේ ඒ බව පිළිගන්න පුළුවන් තැනක මම දැන් ඉන්නවා."

අවසන් වරට එක් තරගයකට සහභාගි වීම පිළිබඳ සිතා බලන නමුත් "කාලයට පමණක් ඒ බව කිව හැකි" බව ඔහු සඳහන් කරයි.

'අන්ඩර්ටේකර්' අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර 'හෙවිවේට්' ශූරතා දිනා ඇත. හය වතාවක් 'ටැග් ටීම්' ශූරතාව දිනා ගැනීම සහ 'Royal Rumble' ජයග්‍රහණය ද ඊට ඇතුළත් ය.

ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1987 වසරේ 'World Class Championship Wrestling' තරගාවලියෙනි. ඉන් අනතුරුව 'ටෙඩ් ඩිබියාසේ' ගේ 'මිලියන් ඩොලර් ටීම්' හි අවසන් සාමාජිකයෙකු වශයෙන් ඔහු 90 දශකයේදී WWE හා සම්බන්ධ විය.

The Undertaker signing a model of himself for fans

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසීය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ චිත්‍රපට සඳහා සම්බන්ධ වීමට අවස්ථා උදා වුවත් එසේ නොකිරීමට තීන්දු කළ බවය

'අන්ඩර්ටේකර්' WWE හි නිර්මාතෘවරයෙකු ලෙස ද හැඳින් වේ. 1992 වසරේ 'සර්වයිවර් සීරීස්' හි පළමු 'Casket Match' (මිනීපෙට්ටි තරගය), 1996 වසරේ 'බරීඩ් අලයිව්' (පණ පිටින් වැළලීමේ තරගය), 1997 වසරේ පළමු 'හෙල් ඉන් අ සෙල්' (කූඩුවක් ඇතුලේ අපායක් තරගය) සඳහා ඔහු සහභාගි විය.

අතිශය ජනප්‍රියත්වයක් දිනා ගත්ත ද ඔහු 'ජෝන් සීනා' හෝ ඩ්වෙයින් ජොන්සන් වැනි සුපිරි තරු මෙන් සිනමාවට සම්බන්ධ නොවීය.

ඔහු පසුගිය මස බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියේ "එසේ කිරීමට අවස්ථා උදා වුවත්" එසේ නොකිරීමට තීන්දු කළ බවය.

"ඒක මට හරියන්නේ නැහැ." යනුවෙන් ඔහු පැවසීය. "රෙස්ලින් සහ WWE තමයි මගේ ආශාව. මම සම්පූර්ණයෙන් ආයෝජනය කර තිබෙන්නේත් මගේ හදවත තිබෙන්නේත් එතනයි."

ඉරිදා (ජුනි 21), 'The Last Ride' හි කොටසක් ඇතුලත් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඔහු "අවසානය ළඟා වන තෙක් ආ මග කෙතරම් දැයි කියා කිසිදිනක නිවැරදිව තේරුම් ගන්න බැහැ."

ඉහත කී අදහස් පළ වීමත් සමග '#ThankYouTaker' හෑෂ් ටැගය භාවිත කරමින් ඔහුට සහාය පතා සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් පණිවුඩ හුවමාරු විය. 'ඒජේ සටයිල්ස්' පවසා තිබුනේ 'අන්ඩර්ටේකර්' ගේ අවසන් සටන තමන් සමග පැවතියේ නම් එය තමාට "ගෞරවයක්" වනු ඇති බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

Presentational white space

මීට පෙර වසරවලදී ද 'අන්ඩර්ටේකර්' රෙස්ලින් වළල්ලෙන් සමු ගන්නා බව කියවිණි. 2017 වසරේදී 'අන්ඩර්ටේකර්' රෝමන් රෙයින්ස් ට පරාජයට පත් වීමත් සමග බැහැර යාමට පෙර වළල්ල මැදදීම ඔහුට අනන්‍ය වූ අත්වැසුම් යුවල, තොප්පිය සහ කබාය උනා දැමීය.