ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය: කසුන් රාජිත හිමිකරගත් අමිහිරි වාර්තාව
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ පැවති ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් පහසුවෙන් ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉරිදා (ඔක්තෝබර් 27) සමත් විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. එහිදී ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ සිය පන්දුවාර 20 තුළදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළහ. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ කඩුලු නවයක් දැවී ලකුණු 99ක් පමණි.
මෙම තරගයේදී නව වාර්තා කිහිපයක් බිහිවිණි. මේ එම වාර්තා පිළිබඳ පසුවිපරමකි.
1. කසුන් රාජිත ට අමතක නොවන දිනයක්
පසුගිය පාකිස්තාන සංචාරයේදී කසුන් රාජිත පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වීය. ඔහුගේ පන්දු යැවීම හමුවේ පාකිස්තාන පිතිකරුවෝ අසරණ වූහ. නමුත් අද දින (ඔක්තෝබර් 27) ඇඩිලේඩ් පිටියේදී දක්නට ලැබුණේ ඊට හාත්පස වෙනස් දෙයකි.
ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ රාජිත ගේ පන්දු යැවීම හමුවේ රිසි සේ ලකුණු රැස් කළහ.
ඔහුගේ පන්දු වාර හතර නිමාවන විට ලබා දී තිබූ ලකුණු සංඛ්‍යාව 75කි. එය විස්සයි විස්ස තරගයකදී පන්දු යවන්නෙක් ලබා දී තිබෙන වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.
රාජිතට අකමැත්තෙන් වුව ද හිමිකම් කීමට සිදුවූයේ තුර්කියේ ටුනහන් ටුරාන් නම් ක්‍රීඩකයා සතුව තිබූ වාර්තාවකි.
ඔහු 2019 අගෝස්තු 30 වෙනිදා චෙක් රාජ්‍ය සමග පැවති තරගයකදී සිය පන්දුවාර හතරේදී ලකුණු 70ක් ලබා දුණි.
මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එම වාර්තාවට හිමිකම් කීවේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සහ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය යි.
ඔවුන් දෙදෙනාම පන්දුවාර හතරක දී ලබා දී තිබු ලකුණු සංඛ්‍යාව 64 කි.
2. විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියාව සිය රටේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව
ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර් (පන්දු 56 කදී නොදැවී ලකුණු 100), නායක ආරොන් ෆින්ච් (පන්දු 36 කදී ලකුණු 64) සහ ග්ලෙන් මැක්ස්වෙල් (පන්දු 28 කදී ලකුණු 62) වේගවත් ව ලකුණු රැස්කිරීම නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 20 දී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළේය.
එය ඔස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියාව තුළදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය.
මීට පෙර ඔවුන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ එංගලන්තයට එරෙහිව 2007 වසරේ දී කඩුලු පහක් දැවී රැස්කළ ලකුණු 221 ය.
එම තරගය සිඩ්නි හි පැවැත්විණි.
3. වැඩිම ලකුණු පරතරයකින් ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ජය ලැබූ අවස්ථාව
සත්කාරක ඔස්ට්‍රේලියානු ඉණිමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 99 ක් පමණි. එහිදී කඩුලු නවයක් දැවිණි. ඒ අනුව ඔස්ට්‍රේලියාව ලකුණු 134 කින් මෙම තරගය ජය ලැබීය.
එය, කණ්ඩායම් දෙකෙහි ලකුණු පරතරය සලකා බැලීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලැබූ විශාලම ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්විණි.
එසේම මෙම පරාජය, ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ලැබූ විශාලම පරාජය ලෙස ද සටහන් වේ. මීට පෙර 2017 දෙසැම්බර් 20 වෙනිදා ඉන්දියාව හමුවේ ලකුණු 93කින් පරාජය වීම ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ලද විශාලම පරාජය විය.